තහනම් ඩෝපිං උගුලට හසුවෙන අපේ ළමයි

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

තහනම් උත්තේජක භාවිතා කරමින් ක්‍රීඩා කිරීම ලොව ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට මෙන්ම ක්‍රීඩාවේ තරඟකාරත්වය හෑල්ලුවට ලක් කරන ප්‍රධාන සාධකයක් වීම ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දැඩි අවධානමකට ලක් කර තිබේ.

මේ හේතුවෙන්ම රුසියාවට තම ධජය යටතේ තරග කිරීමේ අවස්ථාව අහිමිවී ඇති අතර, මෑතක දී ඔලිම්පික් මට්ටමේ බර ඉසිලීමේ ක්‍රීඩකයන් පස් දෙනෙකු තහනමට ලක් වීම අනුව යමින් ඔලිම්පික් උළෙලෙන් බර ඉසිලීමේ ක්‍රීඩාව ඉවත් කිරීමේ අවධානමක් ද මතුව තිබේ.

මෙරට මලල ක්‍රීඩකයෙකුත් හසුවෙයි

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට අප රටේ ද විශාල කතාබහක් ඇති ව ඇත්තේ, මෑත කාලයේ දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මීටර් 400 ඉසව්වේ මෙම වසරේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කළ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වන කාලිංග කුමාරගේ ද පැටලීම හේතුවෙනි.

මේ අනුව ගත් කළ ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ක්‍රීඩා ලෝලීන් දක්වන ආදරය ද හීන වී යනු ඇත. මන්ද යත්, විශිෂ්ඨ යැයි කියා ගන්නා දක්ෂතා පිටුපස ඇත්තේ තහනම් උත්තේජක ද යන පැණය සෑම සියලු දෙනාට ම මතු වීම හේතුවෙනි.

පසුගිය දා පැවති යුද හමුදා අන්තර් රෙජිමේන්තු තරගාවලියේ දී ලබා ගත් මුත්‍රා සාම්පල පරීක්ෂාවෙන් පසුව කාලිංගගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝඨක අඩංගු බවට තහවුරු ව ඇති අතර ඔහුට ඒ අනුව වසර 4 ක තහනමක් පැණවී තිබේ.

නමුත්, කාලිංග විසින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය මගින් සිදු කළ කරුණු විමසීමේ දී “බී ” සාම්පල පරීක්ෂාවට මුහුණ දී තම නිර්දෝෂීභාවය ඔප්පු කරන බව පවසා තිබේ.

ඒ අනුව ලබන මස දී සිදුකරන බී සාම්පල පරීක්ෂාවෙන් පසුව ඔහු නිර්දෝෂීනම් තහනම ඉවත්වන අතර, නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් තහනමට ලක්වනු ඇත.

තහනම් උත්තේජක වසංගතය

තහනම් උත්තේජක නිවාරණය සඳහා ලොව ක්‍රීඩා බලධාරීන් අපමණ වෙහෙසක් ගත්ත ද තහනම් උත්තේජක ව්‍යාප්ත කරන ජාලය වර්ථමානය වන විට ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වෙයි.

මෙරටින් ද එවැනි කාරණා බොහෝවිට වාර්තා වුව ද, නීතිය ක්‍රියාත්මක නොවීම මත විශාල වශයෙන් මෙම ජාවාරම මෙරට දී ද වාර්තා වේ.

පසුගිය වසරේ දී ද මෙලෙසම මලල ක්‍රීඩකයෙකු අතුළුව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ලවුව ද එවැනි ද්‍රව්‍ය බෙදා හරින්නන් හා ලබා දෙන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනනි.

– තහනම් උත්තේජක දැලට ඉන්දියාවේ 5 දෙනෙකු හසුවෙයි.
– තහනම් උත්තේජක දැලට 5 ක් – තරග නොමැති කාලයේ දීත් පරීක්ෂණ – මග හැර සැඟවීමට උත්සාහ දරණ බවටත් චෝදනා
– හෙල්ල විසිකිරීමේ ඉන්දීය ක්‍රීඩකයා තහනම් උත්තේජක දැලට
– ඩෝපිං වලට ඉන්දියාවෙ 40 ක් හසුවෙයි – ශ්‍රී ලංකාවේ යාන්ත්‍රනය කාර්යක්ෂමද ?
– මලල ක්‍රීඩාවේ පිහිටුවා ඇති ලෝක වාර්තා මකා දැමීමේ සූදානමක්

සවි එසවීමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පසුගිය වසර දෙක තුළ එම චෝදනාවට ම හසුවුවද ඔවුන් අතර ද මෙවැනි අධිපෝෂණ ආහාර මෙරටට ගෙන්වා බෙදා හරින්නන් සිටින බවත්, ඔවුන් තවදුරටත් එම කටයුතු සිදුකරමින් සිටින බව ද වාර්තා වේ.

ක්‍රීඩාවේ ජීව ගුණය හා තරගකාරීත්වය පවත්වා ගනිමින් තරුණ පරපුර ක්‍රීඩාවේ රඳවා ගැනීමට නම්, මෙම ජාවාරම වහා නැවැත් වීමේ අවශ්‍යතාව මතුවේ.

උදාහරණයක් ලෙස ගත් කල තහනම් ද්‍රව්‍ය හා මිළ අධික අධී පෝෂණ ආහාර භාවිත කරමින් තරග වදින ක්‍රීඩකයන් දේශීය බිමේ ඉහළ දක්ෂතා දක්වා විදෙස් සංචාර සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, ස්වභාවිකව දක්ෂතා දක්වන්නන් සිත්තැවුලෙන් ක්‍රීඩාව අතහැර යෑම වැලැක්විය නොහැක.

නමුත්, ඔවුන් ජාත්‍යන්තර කරලියේ  එම දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම ද දැකගත හැකිය‍

අධි පෝෂණ අතිරේක ආහාර ද්‍රව්‍ය

2013 වසරේ දී තහනම් උත්තේජක නිවාරණය සුවිශේෂී කාරණයක් ලෙස ගෙන පාර්ලිමේන්තුවේ දී පනතක් ලෙස සම්මත කර ගත්ත ද එහි අඩංගු කරුණු මේ දක්වා ක්‍රියාවට නැංවීම ඉබි ගමනින් සිදුවීම අවධානයට ලක් විය යුතුය.

අද තහනම් උත්තේජක භාවිත නොකරන ක්‍රීඩකයා හෙට ඊට පෙළඹවීම වැලැක්වීම බලධාරීන්ගේ වගකීමක් වේ. මෙවැනි අතිරේක පෝෂණ හා ඒ හා ඈඳුනු තහනම් ද්‍රව්‍ය ආයාසයකින් තොරව සපයා ගැනීමේ හැකියාවක් මේවනවිට පැවතීම හේතුවෙන්, මෙය වසංගතයක් ආකාරයෙන් පාසල් පද්ධතිය තුළට ද කිඳා බැස අවසන්.

ජාතික තරගාවලි වල දී පමණක් තහනම් උත්තේජක පරීක්ෂණ සිදුවුව ද, ප්‍රාදේශීය මට්ටමෙන් මෙවැනි පරීක්ෂණ හා ප්‍රතිවිපාක පෙන්වා දීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙනි.

තරගකාරී ලෝකයේ, කෙසේ හෝ ජය ගැනීම, තම පාසල හෝ ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කිරීම හෝ තම ආයතනය ජයග්‍රහණය කරවීමේ මුවාවෙන් මෙය දිනෙන් දින වසංගතයක් ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

ක්‍රීඩාව හා ක්‍රීඩකයා කෙරෙහි තිබූ ගෞරවය ආදරය ඇල්ම හීන වූ කල ක්‍රීඩාවෙන් ජයග්‍රහණ සෙවීම හා ක්‍රීඩාවට අනුග්‍රාහකයන් ඇඳා ගැනීම සිදුවේ ද ?

මුදලට තරග පාවාදීම මෙන්ම, තහනම් උත්තේජක ලබා ගෙන තරග වැදීම ද අපරාධ වරදක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතුව ඇත.

 

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org