තහනම් උත්තේජක දැලට 5 ක් – තරග නොමැති කාලයේ දීත් පරීක්ෂණ – මග හැර සැඟවීමට උත්සාහ දරණ බවටත් චෝදනා

By www.ceylonathletics.com | | Latest News, Sinhala

තහනම් උත්තේජක දැලට 5 ක් – තරග නොමැති කාලයේ දීත් පරීක්ෂණ – මග හැර සැඟවීමට උත්සාහ දරණ බවටත් චෝදනා

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට විෂබීජයක් සේ පැතිර ඇති තහනම් උත්තේජක භාවිතයට වැට බැඳීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක ඒජන්සිය මගින් කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටීයි.

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණයක් සිදු කිරීමට නම්, පිටින් ලබා ගන්නා උත්තේජක භාවිතය පාලනය කිරීම අත්‍යාවශ්‍ය අංගයක්ව ඇත.

මෙම වසරේ දී පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් නියැදි 120 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කර ඇති බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක ඒජන්සිය පවසයි.

එහිදී ක්‍රීඩකයන් 5 දෙනෙකු තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරු ව තිබේ.

එසේම, මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාව වඩාත් විධිමත් කරමින්, තරග නොපවතින කාලයේදී ද පරීක්ෂා කිරීම අරඹා තිබේ.

ක්‍රීඩාව ආරක්ෂා කිරීමට හා තම නිරවද්‍යතාව තහවුරු කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද සහාය මේ ක්‍රියාන්විතයට අත්‍යාවශ්‍ය බව පැවසිය යුතුය.

බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවන් තහනම් ද්‍රව්‍ය භාවිත නොකළ ද ශ්‍රී ලංකා තහනම් උත්තේජක ඒජන්සිය මගින් පවත්වන පරීක්ෂණ මග හැරීමේ හා සැඟවී සිටීමේ උත්සාහයන් ගැනද වාර්තා වේ.

බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවීන තාක්ෂණය යොදා ගනිමින්, ඉහත ද්‍රව්‍ය භාවිතා කරන බවත් මුත්‍රා පරීක්ෂාවෙන් ගැලවීමට නොයෙක් උත්සාහයන් හා විධික්‍රම භාවිත කරන බවත් වාර්තා වී ඇත.

මෙරට ක්‍රීඩකයන් එවැනි උපක්‍රම භාවිත කරන බවට, තොරතුරු ලැබී ඇතත් මෙතෙක් තහවුරු වී නොමැත.

කෙසේ වෙතත් ලබන වසරේ සිට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රුධිර සාම්පල මගින් ද තහනම් උත්තේජක භාවිතය සම්බන්ධවෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගැනීම මත, ඉහත සඳහන් කළ උපක්‍රම මගින් ගැලවීමේ හැකියාව නොලැබෙනු ඇත.

තරග පාවාදීම හා තහනම් උත්තේජක භාවිතය යන කරුණු ක්‍රීඩාවෙන් මුලිනුපුටා දැමීම අත්‍යාවශ්‍යය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙම පිළිකාවෙන් ක්‍රීඩාව මුදවා ගැනීමට සහාය දැක්විය යුතුය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org