ඈත ගමකින් පැමිණ 400 න් වේගවත්ම ක්‍රීඩිකාව වූ නදීෂා

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

මෙම වසරේ මීටර් 400 ඉසව්ව ගැන අවධානය යොමු කිරීමේ දී, මෙරටින් එම ඉසව්වෙන් වාර්තා වූ සිව්වැනි වේගවත්ම කාලය වාර්තා කරමින් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාගේත් අවධානය දිනා ගැනීමට වීරකැටිය ප්‍රදේශයේ ක්‍රීඩිකාවක් සමත් වූවාය.

නමින්  නදීෂා රාමනායක නම් ඇය, වසරෙන් වසර දිනෙන් දින තම ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කරගනිමින්  ආසියාවේ එම ඉසව්වේ වගෙවත්ම ක්‍රීඩිකාවන් කිහිප දෙනා අතරට තම නම ඇතුළත් කරගැනීමට සමත් විය.

තත්පර 54 සීමාව තුළට පිවිසීමට මෙම වසර මුල දී ඇය සමත් වූයේ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම තත්ත්පර 53.94 ක කාලයක් වාර්තා කරමින් දිනාගැනීමත් සමගයි.

2013 වසරේ දී ඉන්දියාවේ දී පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් ඇය, එතැන් පටන් මීටර් 800 ඉසව්ව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් මිනිත්තු 2:07.10 ක හොඳම දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය.

නමුත් පසුගිය වසරේ සිට මීටර් 400 ඉසව්ව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් කෙටි කාලයක් තුළ වර්ථාමානයේ දී එම ඉසව්වේ වේගවත්ම ක්‍රීඩිකාව ද වී සිටියි.

සෙසු සෑම මලල ක්‍රීඩක ක්‍රීඩිකාව මෙන්ම නදීෂාගේ ක්‍රීඩා දිවිය, රෝසමල් යහනාවක් නොවේ. යුද හමුදා කාන්තා බලකායේ සෙවණේ ක්‍රීඩාව සිදුකරන ඇයගේ බලාපොරොත්තු අතර, ලබන වසරේ පැවැත්වන ආසියානු ශූරතාවලිය ප්‍රධානයි.

වීරකැටිය ප්‍රදේශයේ පුහුණුවීම් සිදුකිරීමට ඇති බාධා හේතුවෙන්ම, මාතර කොටවිල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදුකරන නදීෂා රාමනායකට මග කියන්නේ ඩබ්ලිව්. එම්. තුෂාර මහතායි.

වීරකැටිය ගෝනදෙණිය ප්‍රදේශයේ වාසය කරන නදීෂා ගෝනදෙණිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ක්‍රීඩාව වෙනුවෙන් ම වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

යුද හමුදාවට සම්බන්ධ වීමෙන් පසුව, ආර්ථික ගැටලු යම්තාක් දුරට හෝ විසඳුන ද, ජාත්‍යන්තරය ජය ගැනීමට නම් මෙවන් ක්‍රීඩිකාවන් රැකබලා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයකි.

නදීෂා මෙම වසරේ ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී වාර්තා කළ තත්පර 53.03 කාලය මෙරට ඉතිහාසයේ මීටර් 400 ඉසව්වෙන් වේගවත්ම ක්‍රීඩිකාවන් අතරින් සිව්වැනි ස්ථානයට ඔසවා තැබීමට සමත් විය.

මීට පෙර දමයන්ති දර්ශා, සුභාෂිනී රස්නායක හා මේනකා වික්‍රමසිංහ වේගවත්ම කාල පිළිවෙලින් වාර්තා කර තිබිණ.

තත්පර 53 සීමාව ඉදිරි තරග සමය තුළ බිඳහෙළමින් ආසියානු ශූරතා පදක්කමක් දිනාගැනීමට නදීෂාට සුභපැතුම් එක් කරමු.

නදීෂා රාමනායකගේ මීටර් 400 ඉසව්වේ දැක්වූ දක්ෂතා 2017 හා 2018 

නදීෂා රාමනායක සහභාගීවූ තරග කිහිපයක වීඩියෝ එකතුවක් පහතින්.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org