රුකුලක් දිය යුතු උෂාන්ගේ පිම්ම… මෙම වසරේ ලොව අංක තුන..

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

ඇමරිකාවේ ටෙක්සාස් හී පැවැති මලල ක්‍රීඩා තරගාවලියක දී උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.28 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ උෂාන් තිවංක, ගෘහස්ත උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි.

ඔහු මේවනවිට මෙම වසරේ දැක්වූ දක්ෂතා අනුව ගත් කළ ඔහු ලොව තුන්වැන්නා බවට හා ආසියාවේ පළමු වැන්නා ලෙස මේවනවිට පසුවෙයි.

මෑත ඉතිහාසයේ මලල ක්‍රීඩා ඉසව්වක ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස උෂාන්ගේ මීටර් 2.28 ක දක්ෂතාව වර්තා වෙයි. ඔහුට ඊට ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් ලකුණු 1161 ක් හිමිව ඇති අතර එය මෑතක දී මෙරට ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වේ.

අර්ධ ශිෂ්‍යක්වයක් ලබමින් ඇමරිකාවේ අධ්‍යාපන හා පුහුණු කටයුතු කිරීමට ගිය උෂාන්ට දැක්වූ දක්ෂතා පදනම් කරගෙන පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිව ඇත.

23 හැවිරිදි වියේ පසුවන උෂාන් දැක්වූ දක්ෂතාව මලල ක්‍රීඩාවට ලැදි බොහෝ දෙනාගේ අවධානයට යොමු වුවද සාමාන්‍ය ජනතාවට හා බළධාරීන්ගේ අවධානයට ලක් නොවීම කණගාටුදායකයි.

උස පැනීමේ වාර්තාවට හිමිකම් කී මංජුල කුමාර විජේසේකර උෂාන්ගේ දක්ෂතාව ඉහළින් වර්ණනා කරමින් මෙරට වෙනුවෙන් ඔහුගෙන් ලබා ගත යුතු ඉහළම දක්ෂතාව අපේක්ෂා කරමින් පසුවෙයි.

පුද්ගලිකව ද උෂාන් සමගින් සම්බන්ධතා පවත්වා යමින් ගුරු හරුකම් හා උපදෙස් දීමට ද මංජුල කටයුතු කිරීම පැසසිය යුතුවේ.

“උෂාන්ගේ දක්ෂතාව ශ්‍රී ලංකා වාර්තාවට සීමා කරන්න හොඳ නෑ. කොහොම හරු පුෂ් කරන්න ඕන ඔලිම්පික්, ලෝක ශූරතා, ආසියානු පදක්කමක තත්ත්වයට යන්න. උෂාන්ට ලොකු ගමනක් තියනව.” – මංජුල කුමාර

ඒ වගේම මංජුල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටින්නේ ක්‍රීඩකයාගේ මානසික තත්ත්වය ඉහළ දමමින්, අවශ්‍යතා පිරිහසමින් ඉදිරි ගමනට රුකුළක් දෙන ලෙසයි.

මේ අතර, 50 දශකයේ සිට 80 දශකයේ අවසන් කාලය දක්වා මෙරට උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී නාගලිංගම් එතීර්වීරසිංහම් මහතා ද උෂාන් සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

“මම උස පනීමේ වාර්තාව 1953 සිට 1989 දක්වා වසර 36 ක කාලයක් සතුකරගෙන සිටියා. මංජුල කුමාර 2001 සිට 2021 දක්වා සතුකරගෙන සිටියා වසර 20ක්. මීටර් 2.28 ට වැඩි විය හැකි ඔබේ වාර්තාව ත් තවත් වසර 20 කින් අලුත්විය හැකියි. වාර්තා පිහිටුවෙන්නෙ අලුත් වෙන්න.”

රාගම මහබාගේ, උපත ලබූ උෂාන් තිවංක පෙරේරා,  කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් විය.

එම පාසල උෂාන්ගේ ජීවිතය වෙනස් කරපු ස්ථානයක් වූ අතර, ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කරගනිමින් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට පිවිසීමට පවා අවස්ථාව හිමි කර දුනි.

උෂාන් සැමවිටම නිහතමානීව මතක් කරන කාරණාවක් වන්නේ, ඔහුගේ සාර්ථකත්වය පිටුපස යෝද හයියක්ව සිටින මව සහ පියාගෙන් ලැබෙන සහයෝගය හා දිරිගැන්වීම.

උෂාන්ට මේවන තෙක් ස්ථිර වාසස්ථානයක් නොමැති අතර, මව සහ පියා මේවනවිටත් වාසය කරන්නේ පුණ්‍යාධාර සංගමයක් මගින් පිරිනැමූ කුඩා නිවසේයි.

පෝලියෝ රෝගයෙන් පීඩා විඳින මව සහ පියා ඉහත සඳහන් කළ පුණ්‍යාධාර සංගමයේ මගපෙන්වීම යටතේ ස්වයං රැකියාවක නිරතවෙමින් උෂාන්ගේ කරදඬු උස් කරමින් ලක්මව වර්ණවත් කිරීමට සමත්වීම සම්බන්ධයෙන් ස්තූති වන්ත විය යුතුවේ.

එසේම, මාරිස්ටෙලා විද්‍යාලයේ පියතුමන්ලා, ගුරුභවතුන් හා පුහුණුකරුවන්ද උෂාන්ගේ ක්‍රීඩා දිවිය අලෝකමත් කරමින් අද දක්වා රැගෙන එන්නට ශක්තියක් විය.

 

මාරිස්ටෙලා විද්‍යාලයේ දී පිලිප් රංජිත් මහතා යටතේ යටතේ පුහුණුවීම් ආරම්භ කළ උෂාන්ට, ජාතික තලයේ ඉදිරියට පැමිණීමට හිටපු උසපැනීමේ ක්‍රීඩකයෙකුම වන සෙනරත් ප්‍රනාන්දු මහතාගේ ගුරුහරුකම් ඉතා වැදගත් විය.

මෙරට දී අවම පහසුකම් යටතේ වුවද මීටර් 2.24 ක උපරිම දක්ෂතාවක් දැක්වීමට සහාය වූ පුහුණුකරු සෙනරත් ප්‍රනාන්දු මහතා, උෂාන් මීටර් 2.28 ක දක්ෂතාවක් දැක්වීමෙන් පසුව ඔහුගේ පුහුණුකරු ලෙස සැලකිය නොහැකි බව බළධාරීන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වීම කණගාටුදායකය.

එසේම උෂාන් සේවය සපයන  ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායට මෙන්ම, ඔහු වෙනුවෙන් ශ්‍රමයෙන් හා අනුග්‍රාහකත්වය දරමින් සහාය වූ සැම මෙහිදී මතක් කළ යුතුමය.

2019 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වූ උෂාන්ට ඒ වෙනුවෙන් හිමිවූ මෝටර් රථය ද ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු හා පුහුණුකටයුතු සඳහා කැපකිරීමට සිදුවිය.

අලුයටින් මතුව තමාගේම කැපවීමෙන් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ උෂාන්ට මෙරට වෙනුවෙන් අනාගතයේ දී උපරිම දක්ෂතා දැක්වීමට ශක්තිය ලැබේවායි Ceylon Athletics අප සුභාශිංෂන එක් කරමු.

[embedyt] https://www.youtube.com/embed?listType=playlist&list=PLUuPjxKNztcRJE-EIo8kZgU6fK5XRl2En&layout=gallery[/embedyt]

 

 

 

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org