සාමාන්‍ය සෙබළියක් සේ පැමිණ දකුණු ආසියාව ජයගත් සුගන්ධි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතා දක්වමින් රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් ගෙල පැළඳ ගැනීමට ලක්ෂිකා සුගන්ධී සමත් වූවාය.

 

ඇය ඉතිහාසය වෙනස් කරමින්, ශ්‍රියාණී කුලවංසගෙන් පසුව දකුණු ආසියානු රන් පදක්කමක් මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් දිනා ගැනීමත් සමගම ඇය වෙත වැඩි දෙනාගේ අවධානය යොමුවිය.

මෙම වසරේ දී ඇය තත්පර 13.59 ක් ලෙස එම ඉසව්වේ පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වූයේ ද, මෙරට ඉතිහාසයේ කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකාවන් අතර, දෙවැනි හොඳම දක්ෂතාව දැක්වූ ක්‍රීඩිකාව වෙමිනි.

පසුගිය වසර දක්වා, ක්‍රීඩා පිටියේ යකඩ ගැහැණිය ලෙස හැඳින් වූ සුගන්ධී, තරග ඉසව් 7 කින් යුතු සප්ත ප්‍රයාම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව කිහිප වරක්ම තමන් සතු කරගැනීමට තරම් ධෛර්යවන්ත ක්‍රීඩිකාවක් වූවාය.

එසේම, සප්ත ප්‍රයාම ඉසව් කරන අතර තුර දීම සෙසු කේවල ඉසව්ද කරමින් පදක්කම් දිනා ගැනීමට තරම් ඇය දක්ෂ ක්‍රීඩිකාවක් විය.

දින තුනක් තුළ සුගන්ධී තරග ඉසව් 11 කට පමණ සාමාන්‍යයෙන් සහභාගී වූ අතර, පසුගිය වසරෙන් පසුව ක්‍රීඩාව අතහැර නැවත යුද්ධ හමුදා සේවයට අනුයුක්තව සේවය කිරීමට සැරසුනේ ක්‍රීඩාව කෙරෙහි කලකිරීමෙනි.

 

නමුත් තම අදහස අත්හළ ඇය මෙම වසරේ දී, තරග ඉසව් කිහිපයක් පමණක් තෝරාගනිමින් එහිදී උපරිම දක්ෂතා දක්වමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඉසව් තුනකින් සුදුසුකම් ලබා ගත්තාය.

හොරණ ගෝනපොල ගම් ප්‍රදේශයෙන් ක්‍රීඩාවට දායාද වූ ඇය, වැඩිමහලු සහෝදරයෙකු හා සහෝදරියෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. ගෝනපොල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරා යුද්ධ හමුදා සේවයට සුගන්ධි බැඳෙන්නේ ක්‍රීඩාව කරගෙන යාම සඳහා නොවේ.

යුද්ධ හමුදා පුහුණුව ලබා සාමාන්‍ය සෙබලියක් ලෙස, තම දායකත්වය ලබා දෙන අතරතුර, අන්තර් රෙජිමේන්තු ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ ඉසව්වෙන් තුන්වැනි ස්ථානය ලබා ගැනීම සුගන්ධිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.

අනතුරුව, මලල ක්‍රීඩාව කෙරෙහි ඇල්මක් ඇති කරගත් ඇයගේ, සැබෑ දක්ෂතා උකහා ගනු ලැබූයේ වසන්ත කුමාර මහතා බව අප සමග කළ සම්මුක සාකච්ඡාවක දී කෘතඥ පූර්වකව සිහිතපත් කළාය.

යම් හෙයකින් එලෙස අහම්බෙන් මලල ක්‍රීඩාවට යොමු නොවූවානම් ඇය දැනටත් යුද්ධ හමුදා සේවයේ යෙදෙමින් සිටිනු ඇත.

මෙලෙස බාධක කම්ටොලු රැසක් තරණය කරමින් තම ගමන සාර්ථක කරගත් සුගන්ධී 2016 වසරේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට රුකුළක් වෙමින් රන් පදක්කමක් දිනා ගත්තාය.

මෙවර ඇය එය දෙගුණ කරගනිමින්, මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකු ලෙස තම කණ්ඩායමට රන් පදක්කම දිනා ගැනීමට අඩිතාලම තැබීය. එසේම මීටර් 100 කාන්තා ඉසව්වට සහභාගීවෙමින් පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 11.84 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ඇය කඩුලු මතින් දිවීමේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම තම ගෙලේ පැළඳ ගත්තේ, පුද්ගලික හොඳම දෙවැනි කාලය ලෙස තත්පර 13.69 ක දක්තාවක් දක්වමින් ප්‍රභාල ඉන්දියානු ක්‍රීඩිකාවන් දෙදෙනා පරාජයට පත් කරමිනි.

බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූවත්, වාසනාව හේතුවෙන් නොව කැපවීම හා උත්සාහය නිසාම තම දක්ෂතා වර්ධනය කරගත් ලක්ෂිකා සුගන්ධී බොහෝ නවක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක්.

 

Lakshika Sugandi

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org