ගස් උඩයි ළිං පතුලෙයි සිට හෙල්ලෙන් රන් දිනූ නදීෂා ලේකම්ගේ

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් නදීෂා දිල්හානී ලේකම්ගේ, මෙවර තරගාවලියට සහභාගී වීම පවා අවිනිශ්චිතව සිටි ක්‍රීඩිකාවක් වූවාය.

ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී දෙවැනි ස්ථානයට පත්වූ නදීෂාට සාග් තරගාවලිය සඳහා තෝරා ගත් කණ්ඩායමේ අවස්ථාව නොලැබූ අතර, පසුව ඇය ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට අවස්ථාව සැලසින.

ක්‍රීඩා උළෙලේ අවසන් තරගයේ දී නදීෂා මීටර් 55.02 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත් අතර, ප්‍රවීණ ක්‍රීඩිකා නදීකා ලක්මාලී මීටර් 54.41 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

තරගයේ වීඩියෝව හා ඇය දැක්වූ අදහස්

ඇය මේවනවිට මාධව සෙනරත් බණ්ඩාර මහතා යටතේ පුහුණුවීම් කරන අතර, මීට පෙර ප්‍රවීණ පුහුණුකරු රොද්‍රිගෝ මහතා යටතේ පුහුණුවිය. රොද්‍රිගෝ මහතාගේ හදිසි අභාවයෙන් පසුව පසුබෑමකට ලක් වූ නදීෂා පසුව ආබාදයකට ලක්වීම හේතුවෙන් සුපුරුදු දක්ෂතා අතරට පැවිසීමට අපොහොසත් වූවාය.

රොද්‍රිගෝ මහතාගේ අභාවයෙන් පසුව, අනුරාධා රොද්‍රිගෝ නදීෂාව සහෝදරියක් ලෙස රැක බලාගත් අතර නදීශා, හිටපු හෙල්ල විසි කිරීමේ ශූරයෙකු වූ කිංස්ලි ගුණතිලක මහතා යටතේ කෙටි කලක් පුහුණු කටයුතු සිදු කළාය.

නදීෂා ලේකම්ගේ 2017 වසරේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

නදීෂා මව පියා හා නැන්දනිය සමගින්.

ඇහැළියගොඩ පරකඩුව ප්‍රදේශයෙන් ක්‍රීඩාවට දායාද වූ නදීෂා දිල්හානිව මලල ක්‍රීඩාවට හඳුන්වා දුන් පළමු පුහුණුකරු අරුණ ශාන්ත මහතා නදීෂාගේ ගැන පැවසූවේ ඉතා හිත හයිය දරුවෙකු ලෙසයි. කෙදිනක හෝ ආසියානු පදක්කමක් ලබා ගනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි බවත්, ඇය දකුණු ආසියාවත් ආසියාවත් ජයගැනීම ගැන නිහතමානීව ආඩම්බර වන බව ද ප්‍රකාශ කළේය.

නදීෂා දිල්හානී ඇයගේ මුල් පුහුණුකරු අරුණ ශාන්ත මහතා සමගින්

“මීට වසර 20 කට පමණ පෙර මුලින්ම නදීෂාව හෙල්ල විසි කිරීමට යොමු කළේ. ඒ කාලෙ කොල්ල වගේ, ගස් උඩමයි. නිවාසාන්තර තරග තියෙද්දි ගොක් කොළ කපන්න ගස් නගින්නෙ නදීෂා. කවදාවත් කරාබු දෙකක් දාන්නෙ නෑ. ටයි එකක් දාන්නෙ නෑ. රබර් සෙරෙප්පු දෙක දාගෙන එන්නෙ. හරිම දඩබ්බර දරුවෙක්. තිබුණු හැම ක්‍රීඩාවම කළා. මුලින් ම මට හම්බවෙන කොට උස පැන්නෙ. ධාවන තරගවලිනුත් පළාත් මට්ටමටම ගියා. නෙට්බොල් ෆුට්බොල් රගර් හැම ක්‍රීඩාවක්ම කරා. නෙට්බෝල් තරගයක දී මැයගේ ජීවිතය වෙනස්වුණා.”

“මෙයා පොඩි කාලෙ කොල්ලෙක් වගේ, එක පාරක් ජාතික තරගාවලියකට ඇවිත්, ලිඳෙන් වතුර අදින පනිට්ටුව ළිඳට වැටුණ කියල පනිට්ටුව ගන්න ළිඳට බැහැල. ගුරුවරු බයවෙලා මට දැනුම් දුන්නම මම හිතුවෙ මෙයා ළිඳට වැටිල කියල ඇවිත් බලන කොට ළිඳට බැහැල පනිට්ටුව අරන් ගොඩට එනව. ඒ වගේ වැඩ කරපු ළමයෙක් දැන් තැන්පත් වෙලා තමන්ගේ අරමුණ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්නෙ. කලින්නම් මෙයාව ට්‍රේනිං ගෙන්නන එක හරිම වදයක් කවදාවත් වෙලාවට එන්නෙ නෑ. පස්සෙ පස්සෙ මෙයා තරම් උවමනාවෙන් කවුරුත් අවෙ නෑ. වෙලාවක් කිව්වොත් වෙලාවට එනව. කවදාවත් වරද්දන්නෙ නෑ. අසනීපයක් තිබුණත් ට්‍රේනිං එනව.” පළමු පුහුණූකරු අරුණ ශාන්ත මහතා ඇයගේ කුඩා කාලය ගැන ප්‍රකාශ කළේ එලෙසයි.

ඇය හෙල්ල විසි කිරීම ඉසව්වට තෝරා ගෙන ඇත්තේ ද අහඹු සිදුවීමක ප්‍රථිඵලයක් ලෙසයි.

“දවසක් නෙට්බෝල් තරගයක දී, නදීශා මෙහා කොනේ ඉඳල එහා කොනට තනි අතින් පන්දුව විසි කළා. කුඩා වයසෙදි ඒ වගේ දෙයක් කිරීමේ විශේෂත්වයක් තිබුණ. ඒ අනුව තමයි හෙල්ල විසි කිරීමට මැයව යොමු කළේ. වයස අවුරුදු 15 න් පහළ පළාත් වාර්තාවක් බිඳ හෙළීමට ඇය සමත් වීම ඇයගේ ක්‍රීඩා දිවිය වෙනස් කළ සන්ධිස්තානයක් වුණා.”

පරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ නදීශා දිල්හානී, පසුව 2003 වසරේ දී ඇරේපොළ ශ්‍රී මහින්ද විද්‍යාලයට ඇතුළත් වන්නේ අරුණ ශාන්ත මහතාට ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලයට ලැබුණු මාරුවීමක් හේතුවෙනි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව යුද්ධ හමුදාව සමග එක්වූ ඇය 2012 වසර තෙක් අරුණ ශාන්ත මහතා යටතේ පුහුණුවීම් සිදුකළ අතර, ඉන් අනතුරුව ප්‍රවීණ පුහුණුකරු ඒ. ජේ. රොද්‍රිගෝ මහතා යටතේ පුහුණුවීම් සඳහා එක් විය.

2012 වසර වන විට මීටර් 53.76 ක දක්ෂතාවක් දක්වා සිටි නදීශා දිල්හානී, මේවනවිට උපරිම දක්ෂතාව ලෙස මීටර් 58.41 ක දක්ෂතාවක් දක්වා තිබේ.

“මේ ජයග්‍රහණ පිටුපස සෙවනැල්ලක් වගේ සිටින්නේ මාව විශ්වාස කළ පුහුණූකරුවන් හා මට උදව් උපකාර කළ අය. ආබාද එක්ක සිටි කාලයේත්, රොද්‍රිගෝ සර් අභාවප්‍රාප්ත වූ පසුවත් මානසිකව ශක්තිමත් වන්න බොහෝ දෙනා උපකාරී වුණා. විශේෂයෙන් රොද්‍රිගෝ සර් මගේ සෙවනැල්ලක් වගේ මගේ පසුපස සිටිනවා.” නදීෂා ජයග්‍රහණයෙන් පසුව සංවේදීව ප්‍රකාශ කිරිමෙන්, ඇයගේ කෘතගුණ සැලකීමේ ගුණාංගය මොනවට පැහැදිලිවේ.

 

නදීෂා දිල්හානී, ඒ ජේ රොඩ්‍රිගෝ මහතා සමගින් 2017 ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී දිනා ගත් ලෝකඉ පදක්කම සමගින්

වත්මන් පුහුණුකරුවන මාධව සෙනරත් බණ්ඩාර මහතා නදීෂා ගැන සඳහන් කළේ, මෙම ජයග්‍රහණය ඔහු නිසා හිමිවූවක් නොව, ඇයගේ ආත්ම විශ්වාසය හා කැපවීම මෙන්ම මීට පෙර ඇයට උදව් උපකාර කළ පුහුණුකරුවන්ගේ දක්ෂතාව හේතුවෙන් හිමි වූ ජයග්‍රහණයක් ලෙසයි.

නදීෂා පළමු පුහුණුකරු අරුණ ශාන්ත මහතා (පිටුපස වමින්) හා වත්මන් පුහුණුකරු මාධව බණ්ඩාර (පසුපස දකුණින්) හා මව පියා, නැන්දනිය හා පුහුණුවීම් මිතුරිය ඩයනා සමගින්.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org