ඩෝපිං ගැන ඔබ දැන ගත යුතුම කරුණු

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

තහනම් උත්තේජක සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙම ලිපිය සැකසෙන අතර මෙහි ඉංග්‍රීසි පිටපත භාගත කිරීමට ද ඔබට හැකිය. මෙතැනින් ඩවුන් ලෝඩ් කරන්න.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා දෙමාපියන්ගේ අවධානය පිණිස සරල භාෂාවෙන් මෙය සම්පාදනය කරන අතර, මෙහි අඩුපාඩු පවතින්නේ නම් http://m.me/ceylonathletics හරහා හෝ ceylonathletics@gmail.com හරහා අපවෙත දන්වන්න.

මලල ක්‍රීඩායේ තහනම් උත්තේජක භාවිතය ඉතා සීඝුයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන්, අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය, මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවෙන් අවධානය යොමු කරයි.

ඒ අනුව මලල ක්‍රීඩාවේ පිරිසිදු භාවය රැක ගැනීම සඳහා වෙනම ඒකකයක් ද ක්‍රියාත්මක වේ. මලල ක්‍රීඩා විශුද්ධීකරණ ඒකකය නැතහොත් ලෙස මෙම විශේෂ ඒකකය හැඳින්වේ.

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම හා සැමට සම අවස්ථාව සැලසීමට තහනම් උත්තේජක භාවිතයට එරෙහිව ක්‍රියාත්මක වීම අවශ්‍යතාවක් ලෙස සැලකේ.

යම් කිසි අවස්ථාවක කෙනෙකු තහනම් උත්තේජක භාවිත කරන්නේ යැයි හඳුනාගත හොත්, +377 99 99 64 04 දරණ අංකය ඔස්සේ සෘජුව ඉහත ඒකකය ඇමතීමේ අවස්ථාව අති අතර, intelligence@athleticsintegrity.org දරණ ඊ මේල් ලිපිනය ඔස්සේ තොරතුරු වාර්තා කිරීමට අවස්ථාව තිබේ.

එම තොරතුරු ලබා දෙන්නාගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී සිටින බව ද එම එ්කකය තහවුරු කරයි.

එසේම මෙරට තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියට දැන්වීමේ අවස්ථා ඇත. කෙසේ වෙතත්, ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව එවැනි වාර්තා කිරීමක් සිදු කළ හොත් එය ඔවුන්ගේ රාජකාරියට බාධාවක් වන බව ද තරයේ මතක තබා ගත යුතුවේ.

ඒ ඒ කාලවලට අනුරූපීව තහනම් ද්‍රව්‍යවල ලයිස්තුව යාවත් කාලීන කරන අතර, එය අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය, මලල ක්‍රීඩා විශුද්ධීකරණ ඒකකය හො ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය සතු වෙබ් අඩවි වලින් ලබා ගැනීමේ අවස්ථාව තිබේ.

2019 වසර සඳහා තහනම් කරන ලද උත්තේජක ලයිස්තුව හා ක්‍රියාදාමයන් ලයිස්තුව මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න.

තහනම් ලයිස්තුවේ 2019 වසර සඳහා සිදු කර ඇති ප්‍රධාන වෙනස්කම් 

ක්‍රීඩකයාගේ වගකීම

යම් කෙනෙකු තහනම් උත්තේජක භාවිත කර ඇති බවට තහවුරු වුව හොත් ඒ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තහනම් උත්තේජක ලබා ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගත යුතුවේ.

ඔබ භාවිත කරන ඖෂධ වර්ග අධිපෝෂණ ආහාර හා අතිරේක ආහාර සම්බන්ධයෙන් මනා වැටහීමකින් සිටීම ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ වගකීම වන්නේය.

ඔබට තොරතුරු අවශ්‍ය නම්, වෛද්‍යවරයෙකුගෙන් හෝ අදාල රටේ තහනම් උත්තේජක නිවාරණ ඒජනසියේ සහාය ලබා ගැනීමේ අවස්ථාව තිබේ.

මෙරට නම් ක්‍රීඩා වෛද්‍ය ඒකකය හා ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ සහාය ලබා ගැනීමට ඔබට හැකිය.

කෙසේ වෙතත්, අධිපෝෂණ ආහාර හා අතිරේක ආහාර වර්ගවල අන්තර්ගතය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට විශේෂඥයන්ට පවා නොහැකි අවස්ථා පැණ නැගී ඇත. මන්ද බොහෝ ද්‍රව්‍ය එක් එක් රටින් රටට හා සන්නාම නාම අනුව වෙනස් වීමේ අවධානමක් ඇත.

තහනම් උත්තේජක සම්බන්ධයෙන් නීති උල්ලංගණයන් ලෙස සැලකෙන්නේ.

  •  තහනම් උත්තේජකයක් ලබා ගැනීම හෝ අදාළ ක්‍රයමයක් අනුගමන කළ බවට තහවුරු වීම
  •  තහනම් උත්තේජක භාවිතා කිරීමට උත්සාහ කිරීම හෝ එවැනි ක්‍රමවේදයක් අත්හදා බැලීමට තැත් කිරීම
  •  නියැදි ලබා දීම , ප්‍රතික්ෂේප කිරීම හෝ ඉදිරිපත් කිරීමට අසමත් වීම.
  •  තහනම් උත්තේජක ලබා ගැනීම සඳහා වංචා සහගත ලෙස උත්සාහ කිරීම.
  •  තහනම් උත්තේජක හෝ තහනම් ක්‍රමවේදයක් සඳහා වූ භාණ්ඩ සන්තකයේ තබා ගැනීම.
  •  වෙළඳාම හෝ වෙළඳාමට උත්සාහ කිරීම.
  •  තහනම් උත්තේජක හෝ තහනම් ක්‍රමවේදයක් භාවිත කිරීම සඳහා පෙළඹවීම.

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් මෙරට පවතින නීති ගැන කියවන්න

මුත්‍රා සාම්පල ලබා දීමේ දී උපදෙස්

සම්පූර්ණ උපදෙස් මාලාව ඉංග්‍රීසි භාෂිවෙන් පහත සඳහන් කර ඇත.

1. දන්වන ආකාරය හා ඉන් පසුව ක්‍රියා කළ යුතු ආකාරය

තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ නියෝජිතවරයෙකු/වරියක සාම්පල ලබා ගත යුතු බව නිළ වශයෙන් ඔවුන්ගේ හැඳුනුම් පත පෙන්වා දන්වනු ඇත.

ඔබගේ හැඳුනුම්පත ද ඔහුට හෝ ඇයට පෙන්වීමට සිදුවන අතර, ඔවුන්ගේ ඉදිරියේ සිටීම අත්‍යවශ්‍ය වේ.

ඔබට අවශ්‍යනම් ඔබ සමගින් තවත් සහායකයෙකු කැඳවාගෙන යාමේ අවස්ථාව හිමිවේ.

2. ඔබ සාම්පලය ලබා දීමට සූදානම් නම්, ඔවුන් ඔබට අදාළ බඳුන් දෙක ලබාදෙනු ඇත.

එම බඳුන් නිසි ආකාරයෙන් මුද්‍රා තබා ඇත් දැයි මෙන්ම පිරිසිදුව ඇද්දැයි තහවුරු කර ගැනීම ඔබේ වගකීමකි.

ඔබට අදාළ සාම්පලය ලබා දීමට සිදුවන්නේ, ඉහත සඳහන් කළ නියෝජිතයා ඉදිරියේ වන අතර, ඔවුන්ට සහාය දැක්වීම ඔබේ වගකීමකි.

ඔබ අවම වශයෙන් මිලිලීටර 90 ක මුත්‍රා සාම්පලයක් ලබා දිය යුතුය. යම් හෙයකින් ඊට අඩුවුවහොත් නැවත සාම්පලයක් ලබා දීමට සිදුවේ.

ඔබ සාම්පලය ලබා ගැනීමෙන් පසුව නියෝජිතයා වෙත භාරදිය යුතුය. ඔබේ මුත්‍රා සාම්පලය සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ ඔබ සතුවේ.

ඉන් පසුව මුත්‍රා සාම්පල බහාලන විශේෂ කුඩා බෝතල් දෙකක් අහඹු ලෙස තෝරා ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ. ඒවායේ පිරිසිදු කම මෙන්ම මුද්‍රා නිසිලෙස පරික්ෂා කිරීම ඔබේ වගකීමකි.

ඉන් පසුව ඔබ විසින් මුත්‍රා සාම්පලය “ඒ” හා “බී” ලෙස සටහන් කර ඇති බෝතල් දෙකට වෙන් කර දැමීම කළ යුතුය.

බී බෝතලයට අවමය ලෙස මිලි ලීටර 30 ක් හා ඒ බෝතලයට අවමය ලෙස මිලිලීටර් 60 ලෙස මෙය වෙන් කළ හැක.

ඉන් පසුව නියමිත පරිධි, මුද්‍රා තබා අදාළ අසුරණයේ බහාලනු ඇත.

3. අනතුරුව ඔබේ විස්තර සටහන් කරගැනීම නියෝජිත විසින් සිදු කරනු ඇත.

එහිදී ඉන් දින 7 ක් තුළ ඔබ ලබා ගත් ඖෂධ වර්ග හා අතිරේක පෝෂණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැවසීම ඔබේ යුතුකමක් හා වගකීමක් වේ.

ඔබට යම් කාරණයක් සටහන් කළ යුතුනම් එය සටහන් කිරීමට ඔබට අවස්ථාව තිබේ.

අනතුරුව කරුණුවල නිරවද්‍යතාව බලා ඔබේ අත්සන යොමු කළ යුතුය.

මතක තබා ගත යුතු කරුණ වන්නේ, ඔබට මෙම අවස්ථාවේ දී ප්‍රමුඛතාව හිමිවන බැවින්, කලබල නොවී වේලාව ගෙන අදාල ක්‍රමවේදයට සහාය දැක්විය හැකි බවයි.

රුධිර සාම්පල ලබා ගැනීම

මෙහිදී ද සියලුම කරුණු මුත්‍රා සාම්පල ලබා ගන්නා ආකාරයෙන්ම සිදු වේ.

නමුත්, රුධිර සාම්පලය ලබා ගැනීමට පෙර ඔබට මිනිත්තු 10 ක් පමණ රැඳී සිටීමට සිදුවිය හැක. ඔබ ශරීර යෝග්‍යතා ව්‍යායාම වැනි කටයුත්තක නිරත වී මේ අවස්ථාවට සහභාගී වනවානම් පැය දෙකක පමණ කාලයක් වුව ද රැඳී සිටීමට සිදුවනු ඇත.

ඔවුන් රුධිරය ලබා ගැනීම සඳහා පුහුණුව ලැබූ කෙනෙකු ද යන්න විමසීමට හා හැඳුනුම්පත පරීක්ෂා කිරීමට ඔබට හැක. ඔවුන් අදාල සුදුසුකම් පැවසීමට හා හැඳුනුම්පත පෙන්වීමට බැඳී සිටියි.

අදාළ නියෝජිතවරිය විසින් ඔබේ අතේ රුධිර වාහිනියකින් රුධිරය ලබා ගැනීම කළ යුතුය.

ඔබ අවසර ලබා දිය යුත්තේ, අතකින් රුධිරය ලබා ගැනීමට පමණි.

එම ප්‍රමාණය උපරිමය මිලි ලීටර් 25 කි.

මිලිලීටර 25 ක් වැනි කුඩා ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන්, ඉන් ඔබට හානියක් සිදුවීමේ අවධානමක් නොමැත.

කෙසේ නමුත් යම් කිසි රෝගී තත්ත්වයක් ඇත්තනම් පරීක්ෂාව සිදුකිරීමට පෙර කරුණු විමසීමේ දී ඔබට අය සඳහන් කළ හැක.

රුධිර සාම්පල ලබා ගැනීමේ ප්‍රධාන අරමුණ තහනම් උත්තේජක පරික්ෂාව පමණක් නොව ජෛව විද්‍යාත්මක හැඳුනුම්පතට තොරතුරු රැස් කිරීමයි.

එමගින් යම් කිසි වෙනස් කමක් ග්‍රහණය වුවහොත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

තහනම් ලයිස්තුවේ ඇති ඇතැම් ද්‍රව්‍ය ඖෂධ ලෙස භාවිත කළ හැකි ද ?

මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ අවසරයක් ලබා ගත යුතුවේ. ජාත්‍යන්තර තරග සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රිඩිකාවන් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයයෙන් එම අවසරය ලබා ගත යුතු අතර, නැතහොත් අදාල රටේ ක්‍රීඩා සංගමයෙන් හෝ තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියෙන් කළ යුතුය.

කෙසේ වෙතත්, මේ සඳහා වෛද්‍ය වාර්තා හා සාධාරණ හේතු දැක්වීම අත්‍යාවශ්‍ය වනු ඇත.

මේ සම්බන්ධ තොරතුරු tue-application@iaaf.org දරණ ඊමේල් ලිපිනය හරහා විමසිය හැක.

ඉහත ලිපියේ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත වෙබ් අඩවි හරහා හැක

www.athleticsintegrity.org/know-the-process

General information on Anti-Doping is also available through the WADA Website, at: www.wada-ama.org
Medicinal ingredients can be checked through Global DRO, at: www.globaldro.com
(CAN, UK, and USA prescriptions only)
And accessing the ADAMS Whereabouts programme is via:adams.wada-ama.org

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org