අමාත්‍යංශයෙන් ක්‍රීඩකයන්ට දීමනාවත් නෑ කෑමත් නෑ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා නේවාසිකාගාරයෙන් නොමිළේ ලබා දුන් ආහාර වේල අත්හිටු වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

මලල ක්‍රීඩාවද ඇතුළුව සෙසු ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිකළ ක්‍රීඩා නේවාසිකාගාරයේ සිට පුහුණුවීම් කටයුතු සිදුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ආහාර පාන නොමිලේ ලබා දීම සිදුවිය.

මෙය පසුගිය වසර 5 ක පමණ කාලයක සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සිදු කළේය.

නමුත් පසුගිය අගෝස්තු මස සිට නේවාසිකාගාරය වසා දැමීමට කටුයුතු කළ අමාත්‍යංශ බලධාරීන් පසුගිය දා නැවත නේවාසිකාගාරය විවෘත කළ ද ආහාර ලබා නොදීමට තීරණය කර ඇත.

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට හා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කළ ජාතික සංචිතයට ද මේ දක්වා අනුමැතිය ලබා දී නොමැත.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අප්‍රේල් මස කටාර් හී දී පැවැත්වෙන අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන වසරේ අගෝස්තු මස පැවැත්වේ.

අමාත්‍යංශයේ වෙසෙන, (සේවයේ නියුතු ලෙස පැවසිය නොහැක) අදූරදර්ශී නිළධාරීන්ට අනුව පෝෂණ දීමනාව හා ආහාර පාන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දීමට තීරණය කර ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන තේරීම් තරගාවලියෙන් පසුව බව ද වාර්තා වේ.

ආසියානු ශූරතා තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමට වෙනුවෙන පැවැත්වෙන මෙම තේරීම් තරගාවලිය, මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන සාධකයක් ලෙස උක්ත නිළධාරීන් තේරුම් ගෙන ඇතුවා විය යුතුය.

දීර්ඝ තරග සමයක් අවසන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන වසර වෙනුවෙන්, සිය ආබාධ තත්ත්වයන්ට ප්‍රතිකාර කරමින් සූදානම් වීමට ඉදිරි මාස තුන වැය කරයි.

මෙම කාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතාම වැදගත් කාල පරාසයක් වන අතර, නියමිත පෝෂණය හා තාක්ෂණ ගැටලු නිරාකරණය කරගනිමින් පුහුණුවීම් සිදුකරමින් ඉදිරි වසරට ඔවුන් පුහුණුවේ.

අදූරදර්ශී පාලකයන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වටිනාකම පදක්කම් දිනා පැමිණෙන විට පෙනෙන වකවානුවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා සූදානම් වීමට වැයකරන ලේ දහඩියේ සුවඳ නොදැනීම අවාසනවක් බව කිව මනාය.

තරග නැති සමයේ ආහාර පාන ලබා දීම හා පෝෂණ දීමනාව ලබා දීම මුදල් නාස්තියක් ලෙස අමාත්‍යංශ නිළධාරීන් සිතුවාට අනවශ්‍ය වියදම් කප්පාදුවට ඔවුන් යොමු නොවීම ද පෙන්වා දිය යුතුය.

ඕනෑම ක්‍රීඩාවක මව් සංගමයට ද තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා සොයා බලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ වැඩි වගකීමක් තිබේ.

කෙසේවෙතත් වර්තමානයේ සිදුවන්නේ ක්‍රිකට් හැරුණු විට සෙසු සියලුම සංගම් අමාත්‍යංශය මත යැපෙමින් සිටීමය.

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමිකරගත් ජයග්‍රහණ වල වැඩි ගෞරවය මලල ක්‍රීඩාවට හිමිව තිබුණ ද මලල ක්‍රීඩාවට කුඩම්මාගේ සැලකිල්ල බළධාරීන් වෙතින් හිමිවන්නේ අද ඊයෙක සිට නොවේ.

ජයග්‍රහණයේ දී පියවරු වන නිළධාරීන් බළධාරීන්, එම ක්‍රීඩකයන් ජයග්‍රහණ වෙත ඔසවා තබන්නට කටයුතු කරන්නේ ලබා දිය යුතු මූලික අවශ්‍යතා ද කප්පාදු කරමින් වීම ශෝක ජනකය.

තරග ඇති සමය මෙන්ම තරග නැති සමය ද ක්‍රීඩකයෙකු ට ඉතා වැදගත් කාල සමයක් බව අදාළ නිළධාරීන්ට පසක් කළ යුතුවේ.

මලල ක්‍රීඩාව භාර නිළධාරිනිය ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දෙනු ඇතැයි විශ්වාස කරමු.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org