කණිෂ්ඨ සහාය කණ්ඩායම ආසියානු තරගාවලියෙන් කැපුනා ද ? කැපුවා ද ?

By www.ceylonathletics.com | | AJAC, Latest News, Sinhala

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාගත රන් පදක්කමක් දිනා දුන් මීටර් 100 සහාය කණ්ඩායමට ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි කිරීම කාගේත් අවධානයට ලක්විය.

මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨයන් රැසක් මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළද මලල ක්‍රීඩා සංගමයෙන් හා ක්‍රීඩා අමාත්‍යංශය පාර්ශවයෙන් සාධාරණ පිළිතුරක් ඊට ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ඉදිරිපත් කර තිබූ පරිසාධන මට්ටමය ළඟා නොවීම මත මෙම කණ්ඩායම ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ තරගාවලියට සහභාගී කරවිය නොහැකි බවයි. (නිකුත් කළ පරිසාධන මට්ටම කියවන්න) 

ක්‍රීඩා අමාත්‍යවරයාද ඔහු වැඩ භාරගන්නා දින ප්‍රකාශයට පත් කළේ, අතීත වාර්තා අනුව පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ජාත්‍යන්තර තරගාවලි සඳහා යොමුකළ යුතු බවය. (03/05/2018)

කෙසේ වෙතත්, විශ්ලේෂණය කිරීමේ දී, හා උගත් කරුණු අනුව ඇත්තෙන්ම සිදුව ඇත්තේ පදක්කම් බලාපොරොත්තුව තබා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයට සාධාරණයක් හෝ සිදු නොකරමින් කළ කප්පාදුවක් දැයි සැක පළවේ.

1994 වසරේ දී, මෙරටින් බිහි වූ විශිෂ්ඨතම කෙටි දුර ධාවන ශූරියන් දෙදෙනා වන සුසන්තිකා ජයසිංහ හා දමයන්තී දර්ශා ද නියෝජනය කරමින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව ද ඉහත සඳහන් කළ මීටර් 100 සහාය කණ්ඩායම බිඳ හෙළන්නේ නිසි ආකාරයේ ක්‍රමවත් සහාය දිවීමේ පුහුණුවක් ද රහිතවය.

ඒ අනුව ගත් කළ ඉහත කණ්ඩායම මෙතෙක් ශ්‍රී ලංකාවේ සිටි හොඳම බාලිකා සහාය කණ්ඩායම ලෙස අවිවාදයෙන් සඳහන් කළ හැකිය.

දිවයිනේ සතර දෙසින් පැමිණ දකුණු ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උළෙලට දින 5 ක් තිබියදී සිට පුද්ගලික ඉසව් සඳහා ද පුහුණු කටයුතු සිදුකරන අතරතුර ඉහත ක්‍රීඩිකාවන් සහාය දිවීම සඳහා පුහුණු කටයුතු සිදුකළේ කෙටි කාලයකින් හා අක්‍රමවත්වය.

මහනුවර ස්වර්ණමාලී විද්‍යාලයේ අමාෂා පුද්ගලික ඉසව් දෙකකට හා සහාය ඉසව් දෙකකටත්, ගේට්වේ විද්‍යාලයේ ශර්මිලා ජාන් හා ශෙලින්ඩා ජැන්සන් පුද්ගලික ඉසව් දෙකකට හා සහාය දිවීමේ ඉසව්වට සහභාගීවිය.

එවන් පසුබිමකින් පැමිණ, දින 4 ක් තුළ ලැබූ පුහුණුවෙන් වාර්තාවක් සමග රන් පදක්කමක් දිනා ගත්ත ද ඊට ලැබිය යුතු ගෞරවය හිමිකර දුන්නේ, පරිසාධන මට්ටමට නොපැමිණි ක්‍රීඩිකාවන් ලෙස සඳහන් කරමින් ක්‍රීඩා දිවියේ ලබන පළමු ජාත්‍යන්තර සංචාරයෙන් ඉවත් කරමිනි.

එවන් වටපිටාවක් තිබියදී, පසුගිය දා පැවති දෙවැනි ජාතික තේරීම් තරගාවලියේ දී, ශර්මිලා ජාන් මීටර් 100 ඉසව්වෙන් තත්පර 12.17 ක පුද්ගලිකව හොඳම කාලය වාර්තා කළ අතර, මාතර ශාන්ත මරියා කන්යාරමයේ එවන්තී ඉමේෂිකා ද පුද්ගලිකව හොඳම කාලය වන තත්පර 12.20 හා 12.22 ක කාලයන් වාර්තා කිරීමත් සමග සහාය කණ්ඩායමේ සමස්ථ කාලය තවදුරටත් තත්පර 0.30 කින් පමණ අඩු කරගැනීමට හැකි යාව පැවතින.

 

කෙසේ වෙතත් මේවනවිට, පුද්ගලිකව ලබා ගැනීමට තිබූ පළමු ජාත්‍යන්තර තරග අවස්ථාව අහිමිවී තිබේ.

වැඩිදුර කියවන්න

සැබෑ හේතුව…

වාර්තාවන ආකාරයට ඇත්තෙන්ම සිදුව ඇත්තේ, මූල්‍යමය හේතුවෙක් මත මෙම ක්‍රීඩිකාවන්ට අවස්ථාව අහිමි කර ඇති බව ද සැක පළ වේ.

ජපාන සංවිධායකන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දී ඇති උපදෙස් අනුව එක් එක් රටට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවිය හැකි සංඛ්‍යාවක් සඳහන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් යුක්ත කෝටාවක් වන අතර ඊට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී කරවන්නේ නම් අතිරේක මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කළ යුතුවේ.

එය එක් අයෙකුට දිනකට ඇමරිකානු ඩොලර් 200 ක් ලෙස වාර්තා වේ ඒ අනුව මෙවර කණ්ඩායමේ අතිරේක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ඇතුළු දස දෙනෙකුට ගෙවීමට සිදුව තිබේ. ( එම උපදෙස් පත්‍රය) 

සහාය දිවීමේ කණ්ඩායම ද එක් කළ හොත් තවත් ක්‍රීඩිකාවන් සිව් දෙදෙකු ඊට ඇතුළත් කිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යංශයෙන් යැපෙන ආයතනයක් ව ඇති පසු බිමක පදක්කම් බලාපොරාත්තුව ඉවත දමා ක්‍රීඩිකාවන්ට අවස්ථාව අහිමි කරාදැයි මත පළවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු උළෙලේ දී වාර්තා කළ කාලය තත්පර 46.23 කි. එහි පරිසාධන මට්ටම දැක්වුණේ තත්පර 46.00 ලෙසයි.

මෙහි ඇති ගැටලුව වන්නේ, මින් ඉහත සහාය කණ්ඩායම් ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කිරීමේ දී සාමූහික කණ්ඩායමක් ලෙස තේරීම් කටයුතු සිදු නොකිරීමයි. ඉහත ක්‍රීඩිකාවන් සහාය දිවීමේ ඉසව්වට සහභාගීවූයේ එක් වරක් පමණක් වන අතර, යම් හෙයකින් මූලික වටයක් හෝ තිබුණේ නම් කාලය තවත් අඩු කර ගැනීමේ හැකියාව පැවතිණ.

මලල ක්‍රීඩා ඉසව්වක උපරිම දක්ෂතා දක්වා සිටින මොහොතක පූර්ව නිගමනයක් මගින් ජයග්‍රාහකයන් තෝරාගැනීමට හැකි දැයි සැක සහිතය, මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති පුද්ගලයන් රැසක් සිටින පරිපාල ව්‍යුහය විසින් පූර්ව නිගමනයක් මගින් පදක්කමක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි උපකල්පනය කිරීම හාස්‍ය ජනකය.

ආසියානු කලාපයේ කණිෂ්ඨ ක්‍රීඩිකාවන් මේවනතෙක් දක්වා ඇති දක්ෂතා අනුව මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් 5 දෙනා පළමු ක්‍රීඩකාවන් 20 දෙනා අතර සිටීම හෝ අවධානයට යොමු නොකර ඉහත නිගමනයට පැමිණීම විශේෂත්වයක් වේ.

පසුගිය ආසියානු කණිෂ්ඨ ශූරතාවලින් වල දී පදක්කම් ලබා ගත් කණ්ඩායම් වාර්තා කළ කාලයන් පහත පරිධි වේ.

2016  THAILAND 45.23  CHINA 45.41  HONG KONG 45.84
2014  CHINA 45.34  THAILAND 45.89  CHINESE TAIPEI 45.94
2012  THAILAND 46.87  INDONESIA 47.24  CHINESE TAIPEI 47.32
2010  INDIA 45.82  CHINA 45.87  CHINESE TAIPEI 45.90
2008  THAILAND 45.95  CHINA 45.98  CHINESE TAIPEI 47.05
2006  THAILAND 40.30  OMAN 40.56  CHINESE TAIPEI 40.67
2004  JAPAN 46.01  THAILAND 46.36  CHINA 46.55
2002  CHINA 45.53  THAILAND 45.61  JAPAN 46.35

 

වැඩිදුර කියවන්න

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org