සුගතදාස ධාවන පථය මෙම වසරේත් නැහැ

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

මලල ක්‍රීඩාවේ මහගෙදර වන සුගතදාස ක්‍රීඩාංගණය මෙම වසරේදීත් මලල ක්‍රීඩකයන් වෙනුවෙන් විවෘත නොවනු ඇති බව වාර්තාවේ.

මේ වනවිට එහි, කෘතීම ධාවන පථය නැවත එළීම වෙනුවෙන්, සමාගම් දෙකක කඹ ඇදීමක් මතුව තිබීම මත වැඩ ආරම්භ කිරීම පමාවී තිබේ.

ඉහත පමාවත් සමග, ඉදිකිරීම් භාරදෙන සමාගම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි තත්වයක් මතුව තිබේ.

රුපියල් මිලියන 350 කට ආසන්න මුදලක් වැයවෙන මෙම කාර්ය ආරම්භ කිරීමෙන් පසුව වැඩ අවසන් කිරීමට මාස 4 ක පමණ කාලයක් ගතවන බව ඉදිකිරීම් සම්බන්ධ විශේෂඥයන් පවසයි.

එම ක්‍රියාදාමයද වැසි රහිත කාලයක දී සිදුකළ යුතු බව ඔවුන්ගේ නිගමනයයි.

යම් හෙයකින් වැසි ඇද හැළුණහොත් එම කාලය තවත් දීර්ඝ වනු ඇත.

ඉදිරියේදී වර්ෂාව ඇද හැලීම ආරම්භ වන බැවින් මෙම වසරේ දී හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩාංගණය ලබා ගැනීමේ අවස්ථාව අහිමිවනු ඇත.

2012 වසරේ දි පැවැති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන්, ලහි ලහියේ සුගතදාස ක්‍රීඩාංගණයේ වැඩ අවසන් කිරීම හේතුවෙන්, එම ධාවන පථය වසර 4 ක් හෝ භාවිතා කිරීමට නොහැකි තත්වයක් උදාවිය.

ඒ අනුව නියමිත් ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ධාවන පථය එළීම සිදුකළ යුතු වේ.

මෙම වසරේ මෙරට මලල ක්‍රීඩකයන් සහභාගීවීමට නියමිත ප්‍රධානතම තරගාවලිය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වේ. එය ලබන ජූලි මස පැවැත්වෙන අතර, යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මලල ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියද අගෝස්තු මාසයට පෙර අවසන් වේ.

එ් අනුව ප්‍රධාන තරගාවලි වෙනුවෙන් පුහුණුවීමට හෝ සුගතදාස ක්‍රීඩාංගණය හිමිනොවනු ඇත.

ලබන වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර, ඒ සඳහා සූදානම් වීමට හෝ මෙම ක්‍රීඩාංගණයේ වැඩ අවසන් කිරීමට අවශ්‍යය.

නැතහොත් ඇසීමට සිදුවන්නේ, “යුද්දයට නැති කඩුව කොස් කොටන්න ද?” යන්නයි.

 

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org