පිට පිට වේගවත්ම ජාතික ශූරයා වූ කවුද මේ යෝධසිංහ ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

2000 වර්ෂයේ ජනවාරි මස 28 දින පේරාදෙණියේ දී උපත ලැබූ ඔහු නමින් චමෝද් මහිංසස යෝධසිංහ නම් වේ.කෑගල්ල දොරවක සිරිනිවාස මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු පසුව උසස් අධ්‍යාපනය සහ මලල ක්‍රීඩා හැකියාව දියුණු කර ගැනීමේ අදිටනින් 2014 වර්ෂයේදී කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වන්නේ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ලලිත් ලියනගේ මහතාගේ අධීක්ෂණත් සමගයි.

කුඩා අවධියේ සිටම ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඔහු මී.100,200 සහ දුර පැනීම යන ඉසව් වලින් පාසල් මට්ටමේ සිටම ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩකයෙකි.2016 වර්ෂයේදී පැවැත්වුණු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු මී.100 ඉසව්ව තත්.11.0කින් නිම කරමින් රන් පදක්කම දිනා ගත්තේ තමාගේ නමින් නව තරග වාර්තාවක් සනිටුහන් කර ගනිමින් ය. එමෙන්ම එම තරගාවලියේම මී.200 ඉසව්වෙන් සහ දුර පැනීම ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගැනීමටත් ඔහු සමත් වූයේ ඔහුගේ දක්ෂතාවය මොනවට කියා පාමිනි.

2017 වර්ෂයේදී පැවැත්වුණු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ 18න් පහළ මීටර් 100 ඉසව්ව තත් 10.90කින් නිමකර ඔහු තැබූ තරගාවලි වාර්තාව තවමත් සම කිරීමටවත් කෙනෙකු නොමැති වීම විශේෂත්වයක්.එමෙන්ම එම තරගාවලියේදී ම මී.200 ඉසව්වෙන් රන් පදක්කමත් දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් ඔහු විසින් දිනා ගත්තේය. 2017 වර්ෂයේදී පැවැත්වුණු ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ද මී.200 ඉසව්වෙන් රන් පදක්කමත් මී.100 ඉසව්වෙන් රිදී පදක්කමත් දිනා ගත් ඔහු ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ද කැපී පෙනෙන ලෙස දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.

2018 වර්ෂයේදී මෙරට දී පැවැත්වුණු දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මී.100 ඉසව්වේ පස් වන ස්ථානයට පත් වීමට ඔහුට හැකියාව ලැබුණි.එම අත්දැකීම් සියල්ලේ එකතුවෙන් ඔහු 2019 වර්ෂයේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මී.100 ඉසව්වෙන් තත්.10.90ක කාලයක් වාර්තා කර එම වසරේ ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් විය. එසේම එම වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ද මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සහභාගීවීමට අවස්ථාව හිමිවිය.

එමෙන්ම 2019 වර්ෂයේදී ම පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත් 10.80කින් නිම කරමින් රන් පදක්කමත්, දුර පැනීමේ ඉසව්වේ මී.7.43ක තම හොදම දක්ෂතාවය ද සමගින් රන් පදක්කමත් දිනා ගැනීමට ඔහු සමත් වූයේ කණිෂ්ඨ ධාවන පථයම තමාටම වෙන් කර ගනිමිනි.එසේම එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා,දක්ෂතම දුර පනින්නා සහ දක්ෂතම පිටිය ක්‍රීඩකයා වශයෙන් සම්මාන තුනක් ලබන්නටද එදින ඔහු සමත් විය.

එම ජයග්‍රහණ වලින්ම ඔහු කනිෂ්ඨ අවධියේ සිටම කෙතරම් දක්ෂතා දක්වා ඇත්දැයි සිතා ගත හැකිය.

2019 වර්ෂයේදී ප්‍රථම වතාවට ජාතික ශූරතාවලියකට සහභාගී වන ඔහුට මී.100 ඉසව්වෙන් හිමි වන්නේ පස්වන ස්ථානයයි.පෙර වැරදි පන්නරයක් කොට ගනිමින් 2020 ජාතික ශූරතාවලියේදී සිව්වන ස්ථානයටත් මේ වසරේ පැවති ජාතික ශූරතාවලියේදී තුන්වන ස්ථානයටත් පත් වෙයි.මුල සිටම ඔහුගේ ගමන් මග දෙස බැලීමේදී ඔහු දිනක රටෙහි නම යන මී.100 ධාවකයෙකු වෙතැයි නිසැකයෙන් කිව හැකිය.

ඒ එසේ කිව හැක්කේ ඔහු පියවරෙන් පියවර ඔහුගේ දක්ෂතා ඔප්නංවා ගන්නා ක්‍රමයෙනි. මෙම දිනවලදී පැවැත්වෙන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ මී.100 ඉසව්වටද ඊයේ(24) දින සහභාගී වූ චමෝද් මෙතෙක් ඔහු එම ඉසව්වෙන් වාර්තා කළ පෞද්ගලික හොදම දක්ෂතාවය වාර්තා කිරීමට සමත් වූයේ රිදී පදක්කද දිනා ගනිමිනි.එහිදී ඔහු විසින් දැක්වූ දක්ෂතාවය තත්.10.47කි.

පසුගිය කාලය තුළ යෝධසිංහ සිය පුද්ගලික දක්ශතාව සිග්‍රයෙන් වර්ධනය කරමින් මෙරට වේගවත්ම ක්‍රීඩකයා ලෙස කිරිළු පළඳා සිටියි.

2018 වසරේ මුලින්ම කණිෂ්ඨයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබූ යෝධසිංහ අඛළුණ්ඩව වසර 7 ක් තම දක්ෂතා කෙමෙන් වර්ධනය කරගනිමින් ජාතික තලය අතික්‍රමණය කරන්න සමත්ව සිටියි.

නමුත් ඔහුට ජාත්‍යන්තර තරග අවස්තාවක් 2019 න් පසුව හිමිවූයේ වසර ගණනකට පසුවයි. ඒ ඉන්දියාවේ පැවති ආරාධිත තරගාවලියකට වුවත් අවාසනාවන්ත ලෙස තරග ආරම්භය අසාර්ථක විය.

පසුගිය දා ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් සැපිරූ ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වූ යෝධසිංහ එහිදීද උපරිම දක්ශතා දැක්වීමට සමත් විය. එසේම පසුගිය දා ඩුබායි හී දී පැවති මීටර් 100 ආරාධිත ග්‍රොන් ප්‍රී තරගාවලියේදී තත්පර 10.27 ක දක්ශතාවක් දක්වමින් සමස්ත තරගයේ දෙවැන්නා ලෙස තරගය අවසන් කළේය.

ඔහුට දැන් ඇත්තේ තමන්වම පරාජය කරමින් තත්පර 10.10 සීමාවට පිවිසීමයි. ඊට තවත් තරගකාරී අවස්ථා හිමිවිය යුතුවේ.

2018 සමයේ කණිෂ්ඨ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් ගොන්න අත එම වකවානුවේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් මේ දක්වා ක්‍රීඩාවේ රැඳී සිටින සීමිත ක්‍රීඩකයන් ප්‍රමාණයෙන් එක් ක්‍රීඩකයෙක්.

✍️: ඉසුරිකා අමල්ෂි ඇසුරෙන්

 

 

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org