ලෝක මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. 40,000 ක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 40,000 ක ප්‍රධානයක් සිදු කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ මීටර් 400 පිරිමි හා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම් හා මීටර් 3000 බාධක දිවීමේ ඉසව් ඉලක්ක කරමින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහායි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ලෝක මලල ක්‍රීඩා සංගමය වෙත ඉහත සඳහන් කළ ඉසව්වල දී ශ්‍රී ලංකාව මෑතක දී දැක්වූ දක්ෂතා සඳහන් කරමින්, දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව අනුමත කරමින් වසර දෙකක් සඳහා මෙම ප්‍රදානය සිදු කිරීමට නියමිය.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම 2018 වසරේ දී ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් අතර එම වසරේදී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයට ද සුදුසුකම් ලබා ගත්තේ ය.
මීටර් 400 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම එම තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

එසේම, පාරමී වසන්තී මාරිස්ටෙලා එම තරගාවලියේ දී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඇය ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වූවාය.

මෑත කාලයේ දී ඉහත ඉසව්වලට සහභාගීවෙමින් යොවුන් හා කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යේෂ්ඨයන් රැසක් දක්ෂතා දක්වා ඇති අතර, ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා මෙම මුදල යොදවනු ඇති.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 ක් ඉහත ඉසව් සඳහා සංචිතගත කිරීමට ඒ අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි.

මේ වනවිට ඊට, කණිෂ්ඨ ආසියානු පදක්කම් ලාභීන් වන අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, ඩිල්ශි කුමාරසිංහ මෙන්ම, ආසියානු යොවුන් පදක්කම් ලාභී නවිෂ්ක සංදීශ් මෙන්ම යොවුන් ඔලිම්පික් පදක්කම් ලාභී පාරමී වසන්තී මාරිස්ටෙලා හා මීටර් 400 ජාතික ශූරී නදීෂා රාමනායක නම් කර ඇත.

2022 ආසියානු ක්‍රීඩා උළෙල හා 2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරා ගැනීමේ දී ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

තොරාගන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාස 18 ක කාලයක් මසකට ඇ.ඩො. 75 බැගින් හිමිවන අතර, පාවහන් සඳහා ඇ.ඩො. 250 ක් ලබා දීමට සැලසුම් කර ඇත.

මින් ඉහත හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ලබා දීමට ලෝක මලල ක්‍රීඩා සංගමය එකඟ වී තිබුණ ද, එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අපොහාසත් වීම හේතුවෙන් පළමු අදියර යටතේ ලබා දුන් ඇමරිකානු ඩොලර් 25000 ට පසුව මුදල් ලබා දීම නතර කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබිණ.

[wp_show_posts id=”21163″]

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org