තහනම් උත්තේජක පරීක්ෂණවලින් සල්වා කට්ටි පැන්නා ද ? හා සෙස්සන්ගේ ප්‍රතිචාර

By www.ceylonathletics.com | | Latest News, Sinhala

තහනම් උත්තේජක වංචාවකින් පසුව බහරේනයේ සල්වා ඊද් නසාර්ට තරග කිරීමට ඉඩ ලබා දිම පිළිබද ලෝක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අප්‍රසාදය.

  • – මලල ක්‍රීඩාව පිරිසිදු කරන්නන්ගේ පිරිසිදුකම අභියෝගයට ලක්වේ.
  • – ලෝක පූජිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙම දෙබිඩි පිළිවෙතට එරෙහිව අප්‍රසාදය.
  • – තහනම් උත්තේජක භාවිතය ගැන අහඹු පරීක්ෂණ තුනක් මග හැරීම බරපතල වරදක්

නයිජීරියාවේ උපත ලබා දැන් බහරේනය නියෝජනය කරන ලෝකශූරිය හා ආසියානු මීටර් 400 ශුරීය වන සල්වා ඊද් නසර්ගේ තාවකාලික තරග තහනම සම්බන්ධයෙන් මලල ක්‍රිඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඒකකය ( Athletics Integrity Unit)  විසින් ඉරිදා නිකුත් කළ ප්‍රකාශයෙන් පසුවලෝක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇයට ලෝක ශුරතාවලියේ තරග කිරීමට අවස්ථාව ලබාදීම පිළිබද තම බලවත් අප්‍රසාදය පල කරන ලදී.

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් 2017 වසරේ දී, ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින්, දූෂණ හා තහනම් උත්තේජක භාවිත කිරීම් නිවාරණය කිරීම සඳහා සියයට සියයක් ස්වාධීන ආයතනයක් ලෙස ඉහත ඒකකය පිහිටුවනු ලැබීය.

සල්වා ඊද් නසර්, ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය මගින් තරග නොපැවැත්වෙන කාලයේ දී පවත්වනු ලබන අහුඹු පරීක්ෂණ 4ක් මග හැර ඇති බවට වාර්තා වීමත් සමග ඇයට තාවකාලික තහනමක් පැණවීය.

මෙවැනි තහනමක් පැණවීම මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා ලොලීන්ට නුහුරු අත්දැකීමක් වන අතර අප මේ සම්බන්ධයෙන්, මෙරට තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතාගෙන් විමසීමක් කළේය.

ඒ මහතා අවධාරණය කළේ ජාත්‍යන්තර නීතියට අනුව වසරක (මාස 12 ක) කාලයක් තුළ මෙවැනි අහඹු පරීක්ෂණ මග හැරීම් තුනක් වාර්තා වුවහොත්, තහනම් උත්තේජක නිවාරණ නීති උල්ලංගනය කිරීමක් ලෙස සලකා තහනමකට ලක් කිරීමේ හැකියාව ඇති බවයි. එසේම, ඉන් පසුව  විමර්ශන කමිටුවක් හරහා සිදුකරනු ලබන පරීක්ෂණයකින් අනතුරුව උපරිම වසර දෙකක තරග තහනමක් පැණවිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ලෝක මලල ක්‍රීඩා සංගමයේ, ඉහත ඒකකය (AIU) නිවේදනයක් මගින් ප්‍රකාශ කරනු ලබන්නේ, සල්වා නසර් පසුගිය වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන විටත්, අහඹු පරික්ෂණ තුනක් මගහැර සිටි බවයි. එසේම, ඇය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවූ බවත්, මෙම වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත වූ පරික්ෂණයද මග හැරීම හේතුවෙන්, තහනමට ලක් කළ බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන්.

සල්වා ලෝක ශූරතාවලියේ දී, ලෝක ඉතිහාසයේ මීටර් 400 කාන්තා ඉසව්වෙන් තුන්වැනි හොඳම කාලය වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

ආසියානු ශූරතාවලියේ දී දින හතරකදී දී පදක්කම් 5ක් දිනූ සල්වා

මේ අනුව ගත් කළ, සල්වා නසර් ලෝක ශූරතාවලියට මාස කීපයකට පෙර අප්‍රේල් මස දී පැවති 2019 ආසියානු මලල ශුරතවලියේදී දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් ද විවිද පාර්ශව සැක මතු කරයි.

එහි දී ඇය එහිදී ඉසව් 5 කට (සහාය දිවීමේ ඉසව් ද ඇතුළුව) සහභාගී වෙමින්, මූලික තරග ද ඇතුළුව තරග 7 කට සහභාගී වෙමින් තරගාවලි වාර්තා මෙන්ම, එම වසරේ ලොව එතෙක් පැවති හොඳම දක්ෂතාවන් (WL) ද සමගින් රන් පදක්කම් 4ක් ඇතුළුව පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් වූවාය.

දින පහක තුළ පැවැති එම තරග හතේ දී තරග කළ සල්වා ශ්‍රී ලංකාවට වැදගත් වූ තරග ඉසව්වක දී ද අනපේක්ෂිත තරග විලාසයක් පෙන්නුම් කිරීම ද කැපී පෙනින.

ඇයගේ ධාවනය හේතුවෙන්ම, කාන්තා මීටර 4×400 සහය දිවීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් අහිමි විය.

තහනම් උත්තේජක නීති ප්‍රකාරව, යම් හෙයකින් සල්වා නසර්ට ඉහත චෝදනාව යටතේ තහනමක් පැණවුවහොත් එදාල ඉසව්වේ රන් පදක්කම බහරේනයෙන් ගිලිහෙනු ඇති අතර, ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමි වීමේ අවස්ථාව ඇත.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ කටුයුතු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ දක්වා එළිදක්වා නොමැත.

සල්වා හිතා මතා මෙලෙස පරීක්ෂණ මගහැරියා ද?

තාවකාලික තහනමක් පැනවීමෙන් පසුව තම ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා සජීව ලෙස අදහස් පළ කරමින් නසර් එම වරද සාධාරණීය කරනය කරමින්, එය සාමාන්‍ය දෙයක් බව පැවසීමත් සමග ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ පිළිබඳව සංවාද ගොඩ නැගින.

වරදේ ස්වභාවය අනුව, සල්වා විසින් එය සාමාන්‍යකරනය කිරීම ගැන බොහෝ දෙනා අප්‍රසාදය පළ කර ඇත.

“මම කවදාවත් වංචාකාරයෙක් නොවූ අතර, කිසි විටෙකත් නොවෙමි. මට මග හැරුණේ පරීක්ෂණ තුනක් පමණි, එය සාමාන්‍ය දෙයක් . එය සිදුවිය හැකියි, එය ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය. මම කිසි විටෙකත් වංචා නොකරන නිසා මිනිසුන් මේ මේ සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයට පත්වීමට අවශ්‍ය නැත. මම එවැනි ප්‍රතිරූපයට අකමැති නිසා එය විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මගේ නමට පෙවැනි කුඩා හෝ පැලලමක් ඇති වීම ගැන කණගාටුයි. මම කිසි විටෙකත් තහනම් උත්තේජන ලබා ගන්නේ නැහැ. මට මගේ දක්ෂතා ගැන විශ්වාසයි. මම දන්නවා මට දක්ෂතා අතර පසුවනවා. මේ වසරේ මා තහනම් උත්තේජන පරීක්ෂාවට ලක් කර නැහැ. අපි තවමත් කතා කරන්නේ ලෝක ශූරතාවලියට පෙර පසුගිය වසරේ ඒවා ගැන” නසාර් පවසා තිබේ.

නසර්ගේ මෙම ප්‍රකාශය බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවධානයට ලක් වූ අතර එය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වුවාට සැක නැත.

ඇයගේ ප්‍රකාශයට පිලිතුරක් ලෙස ලෝක මලල ක්‍රීඩා සංගමයේ, ඉහත ඒකකය නිවේදනයක් නිකුකරමින් පෙන්වා දෙන්නේ, ඇය සිව්වැනි වරටත් නීති උල්ලංගණය කළ බවයි.

“2019 දෝහා ලෝක ශූරතා තරඟාවලිය පැවැත්වෙන අවස්ථාවේදී ඇයගේ තහනම් උත්තේජන පරීක්ෂණ මග හැරීම පිළිබද විමර්ශන සිදුවෙමින් පැවතුණ ද තහනමක් පණවා නොතිබිණ. නමුත්, අදාළ විමර්ශනය අවසන් වීමත් සමග හා 2020 ජනවාරි මස දී සිව්වැනි වරටත් පරීක්ෂණ   මගහැරීමෙන් පසුව, චෝදනා පිළිබඳ දැන්වීමක් නිකුත් කරන ලද බව සඳහන් කරමු. මෙහිදී නසර් මහත්මියට වහාම තාවකාලික තහනමක් පනවන ලදී .ඒ පිළිබද විනය ක්‍රියාදාමය අඛණ්ඩව සිදුවන අතර AIU මෙම අවස්ථාවෙහිදී මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමෙන් වැලකී සිටියි”

මෙය පිළිබද බ්‍රිතානයේ ටෙලිග්‍රාෆ් පුවත්පතට අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මීටර 400 ශුර මාර්ටින් රූනි පවසන්නේ ඇය කිසිසේත් ලෝක ශූරතාවලියට සහභාගී නොවිය යුතුව තිබු බවයි.

” මැද පෙරදිග රටවලට ඇය ප්‍රධාන ක්‍රීඩිකාවක්, ඇය හරහා විශාල දේශීය තරග ආවරණයට විශාල අවධානයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නට ඇති. නමුත් පරීක්ෂණ තුනක් මග හැරි ක්‍රීඩිකාවකට තරග වැදීමේ අවස්ථාව ලබා දීම අසාධාරණයි. ඇයට තරඟ කිරීමට අවසර දුන්නේ ඇයි? ” රූනි ප්‍රශ්න කළේය.

රූනි බ්‍රිතාන්‍ය මීටර 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර, ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ දී ඔවුන්ට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

මෙහි අවසන් තරගයේ දී, ලෝකඩ පදක්කම දිනාගත්තේ, සල්වා නසර් ද සහභාගී වූ බහරේන් කණ්ඩායමයි.

එම තරගයේ බ්‍රිතාන්‍ය නියෝජනය කළ ක්‍රීඩිකාවක් වන එමිලි ඩයමන්ඩ් පැවසුයේ නසර්ගේ ප්‍රකාශයම ගැටළු සහගත බවයි.

“එම ප්‍රකාශය ඇත්ත වශයෙන්ම, ක්‍රීඩාව ආරක්ෂා කිරීමට අදහස් කරන ආයතන කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගැනීමට හේතුවක්. මොකද යමෙකු නීති කඩ කළත් තරග කිරීමට අවසර ලැබී තිබෙනවා. කනස්සල්ලට කරුණ වන්නේ එය සාමාන්‍ය දෙයක් බවට ඇයගේ ඇති විශ්වාසයයි. ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එවැනි ප්‍රකාශයක් කිරීම මෙන්ම, එසේ පරීක්ෂණ මගහැරී අයෙකුට තරඟ කිරීමට අවස්ථාව ලැබීම ද කනස්සල්ලට කරුණක් “.

මේ අතර, ලෝක මලල ක්‍රීඩා සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කොමිසමේ සාමාජිකාවක් ලෙස තේරී පත්ව සිටින ග්‍රීසියේ රිටිපැනීමේ ඔලිම්පික් ශූරියක් වන කැතරිනා ස්ටෙෆානිඩි ද නසාර්ගේ ප්‍රකාශය සම්බන්ධනෙක් සිය කනස්සල්ල මතු කරමින් ටුවිටර් පණිවිඩයක් සටහන් කර ඇත.

“මෙම සිද්දිය පිළිබඳ වැඩිදුර තොරතුරු මා නොදනිමි, නමුත් තහනම් උත්තේජක පරීක්ෂණ තුනක් මග හැරීම සාමාන්‍ය දෙයක් යැයි ඇය කළ ප්‍රකාශය, ඇයගේ අත්හිටුවීමේ කාලය තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතුය”

“සාමාන්‍යය” පිළිබඳ උපකල්පනය පදනම් වන්නේ ඔබ වටා සිදුවන දේ මත ය. තහනම් උත්තේජක සම්බන්ධයෙන් ගත් කළ මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි.”

1992 ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී බ්‍රිතාන්‍ය ජෙනිෆර් ස්ටූට්, පසුගිය වසරේ දී පැවති ලෝක ශූරතාවලියේ මීටර් 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනු බහාමාස් හී ශෝනා මිලර් ඉබෝගේ ඡායාරූපයක් පළ කරමින් සටහනක් තබා තිබිණ.

“මේ පින්තූර වචන දහසක් කතා කරයි. සල්වා ඊද් නසර් දෝහා හි රන් පදක්කම ලබාගත් විට ෂෝනා ඒ දෙස විශ්මයෙන් බලා සිටින ආකාරය. ෂෝනා යනු මා දන්නා වඩාත් කැපවූ ක්‍රීඩිකාවක්. මෙලෙස ඇයට හෝ කිසිවෙකුට හිතාමතා මංකොල්ල කෑමට ඉඩ දෙන්නේ කෙසේද? ”

බොහෝ රසිකයන් ද එම ප්‍රකාශයට දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූයේ AIU ප්‍රකාශය සමඟ එහි මැද නම අවංකත්වය/සුපිරිසිදුභාවය (Integrity) අහිමි වන බව පවසමිනුයි.

නයිජීරියාවේ එබෙලෙචුක්ව් අග්ගපුන්වු (Ebelechukwu Agbapuonwu )ලෙස උපත ලැබූ ඇය 2014 දී සල්වා ඊද් නසර් ලෙස ඇගේ නම වෙනස් කර, බහරේනය නියෝනජය කරමින් තරඟ කිරීමට අරම්භ කළ අතර , ලෝක යොවුන් ශූරතාවය සහ යොවුන් ඔලිම්පික් ඇතුළු යොවුන් හා කනිෂ්ධ ශූරතා තරගාවලි වලදී ලෝක මට්ටමේ පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.

පසුව බහරේනය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ අංශයෙන් කෙටිදුර ධාවන පිටිය ආක්‍රමණය කල ඇය 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දෙකක් ඇතුළු පදක්කම් තුනක් සහ 2019 ආසියානු ශුරතාවලියේ රන් පදක්කම් 4ක් ඇතුළු පදක්කම් 5ක් දිනාගත්තේ ආසියාවේ උපත ලද ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේම ආසියානු වාර්තා හා ආසියානු පදක්කම් අහිමි කරමිනි.

2017 වසරේ ලෝක ශුරතා තරගාවලියේදී ඇය වසර 19ක ක්‍රීඩිකාවක් ලෙස තරග කරමින් මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් අතර පසුගිය වසරේ ඩයමන්ඩ් ලිග් ශුරතවලිය ද දිනාගත්තා ය.

පසුගිය වසරේ ඇය ලෝක ශූරතාවලියේ මීටර් 400 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තේ ඔලිම්පික් ශූර මිලර් පරාජයට පත්කරමිනි.

එහිදී ඇයගේ කාලය නැගෙනහිර ජර්මනියේ මාරිටා කෝච්(Marita Koch) (1985 දී 47.60) හා චෙක් ජනරජයේ ජර්මිලා ක්‍රාටොච්විලෝවා (Jarmila Kratochvilova) (1983- තත්පර 47.99) පසුපසින් තෙවැනි වේගවත්ම කාලය ලෙස සටහන් විය.

ඔවුන් දෙදෙනාම කිසිදා තහනම් උත්තේජක භාවිතයට පරීක්‍ෂා කර නොතිබුණද, 70 සහ 80 දශකවල නැගෙනහිර ජර්මනියේ සහ නැගෙනහිර යුරෝපයේ රාජ්‍ය අනුග්‍රහය සහිත තහනම් උත්තේජක වංචාව හේතුවෙන් ඔවුන්ගේ දස්කම් සැමවිටම සැකයට භාජනය විය.

මෑත අතීතයේදී බහරේනය නියෝජනය කළ ලෝක මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තහනම් උත්තේජන චෝදනාව එල්ල වූ සිව්වන ප්‍රධාන අවස්ථාව මෙයයි.

මීට පෙර කෙන්යාවේ උපත ලැබූ ඔලිම්පික් මීටර් 3000 ධාවන පථය රන් පදක්කම්ලාභී රූත් ජබෙට් (Ruth Jabet), ආසියානු ක්‍රීඩා රන් පදක්කම්ලාභී සහ ලෝක ශූරතා ලෝකඩ පදක්කම්ලාභී (මැරතන්) කෙන්යාවේ උපත ලැබූ යුනිච් කිර්වා (Eunich Kirwa) සහ ආසියානු ක්‍රීඩා රන් පදක්කම් ලාභී නයිජීරියාවේ උපන් ඔලුවකෙමි අඩෙකෝයා (Oluwakemi Adekoya ) (දමයන්ති දර්ශාගේ ආසියානු ක්‍රීඩා මීටර 400 වාර්තාව බිඳ දැමූ) සියල්ලන්ටම තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් වසර 4 බැගින් තහනම් පැණවින.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org