ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව නදීෂා, නිලානී, නිමාලී ආසියාවේ ඉදිරි ස්ථානවල

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ගෙවුණු වසරේ පැවති මලල ක්‍රීඩා තරගාවලි ඇසුරෙන් වූ අන්තර්ජාතික මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ආසියාවේ මුල් දස දෙනාගේ ලැයිස්තුවට පැමිණ තිබේ.

ඒ අතරින් මීටර් 400 දිවීමේ ක්‍රීඩිකා නදීෂා රාමනායක එම ශේණිගත කිරීම් අනුපිළිවෙලේ ආසියාවේ 2 වන ස්ථානයට පැමිණ තිබේ. නදීෂා ප්‍රසාද ලකුණු 1155 ලබා ගනිමින් මෙම ස්ථානයට පැමිණ ඇත. ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ මීටර් 400 රන් පදක්කම දිනූ සල්වා-ඊද්-නසීර් ප්‍රසාද ලකුණු 1460ක් ලබා මෙම සටහනේ පළමු ස්ථානයෙහි රැඳී සිටියි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්ව සඳහා නදීශා සහභාගි වීමට සූදානමින් සිටියද, ඩෙංගු උණ වැළදීම හේතුවෙන් අදාළ තරගාවලිය අවසන්වන තුරුම ඇයට රෝහල්ගතව හිඳීමට සිදුවිය.

කාන්තා මීටර් 800 ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි මුල් දස දෙනා අතරට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තේරී තිබේ. ප්‍රසාද ලකුණු 1163ක් ලබා නිමාලි ලියනාරච්චි එම සටහනේ 4 වන ස්ථානයට පැමිණ තිබේ. නිමාවූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දින කිහිපයකට පෙර නිමාලි හට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත රිය අනතුර හේතුවෙන් ඇයට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අහිමි විය. සටහනේ 7 වන ස්ථානයට පත්ව සිටින ගයන්තිකා එහිදී රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1142කි. මේ අතර එක් ලකුණක පරතරයකින් මෙම සටහනේ 11 වන ස්ථානයට පත්ව සිටින්නේ යොවුන් ක්‍රීඩිකා සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ත්‍රිත්ව රන් පදක්කම් ලාභී ඩිල්ෂි කුමාරසිංහයි.

මෙම ශ්‍රේණිගත කිරීම්හි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ආසියාවේ 3 වැනි ස්ථානය ලකුණු 1180ක් ලැබූ නිලානි රත්නායක විසින් දිනා සිටියි. ඇය ගෙවුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේද මීටර් 1500 රන් පදක්කම් ලාභිනියයි.

පිරිමි ක්‍රීඩකයින් අතරින් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ මෙම ශ්‍රේණිගත කිරීම් සටහනේ ලකුණු 1135ක් ලබා 8 වන ස්ථානයෙහි රැඳී සිටියි.

– අරුණ පුවත් පත ඇසුරෙනි

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org