ජාත්‍යන්තර පදක්කම් රැජිණ නිමාලී තාමත් ලෙඩ ඇඳේ

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala, Videos

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ⁣ක්ෂේත්‍රයේ පදක්කම් නියඟයට නිහඬව පිළියම් සෙවූ බොහෝ දෙනාගේ ඇස නොගැටුණු ඇය නිමාලි ලියනාරච්චි.

මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයෙන් පසුව ඇතිව තිබූ පදක්කම් ඉඩෝරය නිමා කිරීමට අස්වැසිල්ලක් වූ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයෙන් බිහිවූ ඇය පසුගිය වසරේ නොවැම්බර් මස 28 වැනි  දින අපරික්ෂාකාරී රියදුරෙකුගේ ගොදුරක් බවට පත් වූවාය.

බොහෝ දෙනෙකු පශ්චාත් පරීක්ෂණ සිදු කළද අද වන විට ඇය, රෝගාතුරව සිටියද කිසිවෙකුගේ අවධානය ඒ දෙසට යොමු නොවීම කණගාටුවට කරුණකි.

ජ්‍යේෂඨ ක්‍රීඩිකාවක් වුවද මොවුන් රක්ෂණයකින් හෝ ආවරණය නොවීම හේතුවෙන්, කිසිදු මෙවැනි අනපේක්ෂිත විපතකදී පිහිටක් නොලැබේ.

පසුගියදා අවසන් වූ දකුණු ආසියානු ක්‍රීඩා උ⁣ලෙලේ දී රන් පදක්කම් ත්‍රිත්වයක් (මීටර් 800, 1500 හා 4×400) ගෙල පැළඳ ගැනීමේ අවස්ථාව ඇයට අහිමිවී ගියේ නිමේශයකදී එක් අපරික්ෂාකාරී රියදුරෙකුගේ වරදකිනි.

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඉන්දියාවේදීම එරට සුපිරි ක්‍රීඩිකාව පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්තේ නිමාලීයි.

ආසියානු කරයේ පදක්කම් සිහිනය සැබෑ කළ අැය පිලිවෙලින් 2015 හා 2017 ආසියානු ශූරතාවලි වලදී ලෝකඩ හා රන් පදක්කම මව්බිමට දිනා දීමට සමත් වූවාය.එසේම 2017 ආසියානු ශුරතාවලියේ රන් පදක්කමත් සමග ඇය 2017 ලන්ඩන් නුවර පැවති මළල ක්‍රීඩා ලෝක ශුරතාවලිය නියෝජනය කිරීමටද සුදුසුකම් ලැබුවා

24 වසරක් නොබිඳී පැවති මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව නිමාලි තමා සතු කරගත්තේ යාපනේ තණකොල පිටියක දිව යමිනි.

එම වාර්තාව ඉන් මාස කිහිපයක් යාමට මත්තෙන් නැවත අලුත් වූයේ ගයන්තිකා අබෙිරත්න නිමාලී වෙතින් එම වාර්තාව සතු කරගැනීමේදියි.

නමුත් එවරද නිමාලී ගයන්තිකාට දෙවෙනි වූයේ තත්පර දශම 02 කිනි. (2:02.58)

ආසියානු ශූරතා පදක්කම් වලට අමතරව, ආසියානු ගෘහස්ත, ආසියානු ග්‍රොන් ප්‍රී පදක්කම් රැසක් තම නම ඉදිරියෙන් ලක්මාතාවට තිළිණ කිරීමට ඇය සමත් වූවාය.

ඉන් නොනවතුනු ඇය පසුගිය වසරේ පැවති ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උ⁣⁣⁣ළෙලේදී  මීටර් 800 රිදී පදක්කම දිනා දින්නේ ලොව රණකාමීන් අතර මේ පුංචි රටේ ක්‍රීඩිකාවක් දෙවැන්නා බව ඔප්පු කරමිනි.

පසුගිය වසරේ නිමාලී තවත් ශ්‍රී ලංකා වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කළාය.

මීටර් 1500 ඉසව්වෙන් සටහන් කළ එම වාර්තාව ( 4:15.86) ඇයට සුවිශේෂී වූයේ, වසර ගණනාවකට පසුව එම ඉසව්වට සහභාගී වීම නි⁣සාවෙනි. එහි වාර්තාව පිහිටුවා තිබූයේ මින් වසර 7කට පෙර 2012 වසරේදීයි.

නිමාලී පසුගිය වසරේ දී තවත් ශ්‍රී ලංකා වාර්තාවකට දායක වූවාය.

බොහෝ දෙනා කඳුලු සැලූ අප්‍රේල් ප්‍රහාරයට දින කිහිපයකට පසුව බිඳුනු සිත් ඇතිව ශ්‍රී ලංකා නාමය ආසියානු කරයේ තර්ජනයක් බව ඒත්තු ගැන්වූ තරගයක් ලෙස එය සැලකිය යුතුය.

මීටර් 400 සහාය දිවීමේ ඉසව්වෙන් වසර ගණනාවක් මෙරට ක්‍රීඩිකාවන්ට ලංවීමට හෝ නොහැකි වූ ශ්‍රී ලංකා වාර්තාව සැබෑවක් කර දීමට නිමාලී සෙසු ක්‍රීඩිකාවන්ට සහාය වූවාය. (3:35.06)

තාක්ෂණයෙන් හා නූතන පහසුකම් වලින් අගතැන්පත් චීන කණ්ඩායමද පරාජය කළ එම තරගයේ ලෝකඩ පදක්කම දිනාගත් ජපානය පරාජය කිරීමට නොහැකි වූයේ තත්පර දශම .18 කිනි.

ස්වර්ණමය වසරක් අවසන් කර දකුණු ආසියානු පදක්කම් ත්‍රිත්වය අහිමි වූ නිමාලී ලියනාරච්චිට සවියක් වීම ක්‍රීඩාවට ආදරේ කරන සැමගේ යුතු කමකි.

දකුණු අතේ අස්ථි බිඳීම හේතුවෙන් මෙවනවිට ආයුර්වේද ප්‍රතිකාරවල පිහිට පතන ඇය වෙත කාගේවත් අවධානය යොමු නොවීම ගැන කණගාටු විය යුතුය.

සූරියවැව හද්ද පිටිසර ගමකින් පැමිණි ඇය ලක් මව සරසද්දී අත් පොලසන් දුන් හා මාල පැළඳ වූවන් අද නැත.

ඇය නැවත සුපුරුදු රිද්මයට පැමි⁣ණෙනු ඇත.

ඒ ඇයගේ හා පුහුණුකරු සුජිත් අබේසේකර මෙන්ම මිතුරු පිරිසේ ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තියෙන් පමණක්මය.

2019- දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම පිටත්ව යාමට දිනක් ඉතිරිව තිබියදී නිමාලී ලියනාරච්චි උදෑසන සිය යතුරු පැදියෙන් පුහුණුවීම් සඳහා එමින් සිටියදී තලවතුගොඩදී අනතුරට ලක් වූවාය

ඒ හේතුවෙන් ඇයගේ දකුණු අතේ වැලමිටට ඉහළන් අස්ථි බිඳීමක් සිදු වූ අතර, දකුණු ආසියානු සිහිනය බොඳව ගියාය.

අපරික්ෂාකාරී රියදුරෙකු විසින් පසුපසින් පැමිණ අනතුර සිදු කර තිබූ අතර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව මේවන විට ආයුර්වෙද ප්‍රතිකාර සිදු කරයි.

නිමාලිගේ පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා උපකාරීවන ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් ස්වේච්චාවෙන් ලබා දීමට මේවනවිට කටාර් හී වාසය කරන සදෙව් කවීෂ ඉදිරිපත්වීම ගැන ඔහු⁣ට ස්තූතිය පුද කල යුතුවේ.

එසේම, ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විසින්  පුහුණුවීම් වලට උපකාරීවන ගෘහස්ත පාපැදියක් ලබා දීමට ඉදිරිපත්ව සිටීම ගැනද හෘදයාංගම ස්තූතිය පළ කළ යුතුය.

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org