රට කරට ගත් මංජුලට ජාතික ක්‍රීඩා උළෙලත් නැති කරයි

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

දශක දෙකකට ආසන්න කාලයක් පුරා තමන්ගේ දක්ෂතාවයක් එක ලෙසම තබා ගැනීමම ද දක්ෂතාවයකි. ක්‍රීඩා ඉසව්වක දක්ෂතාවය එක ලෙසින් දිගු කලක් පවත්වා ගැනීම වඩාත් අභියෝගාත්මක මෙන්ම අපහසු කටයුත්තක් බව ක්‍රීඩා හිතැති සැම දෙනාම දනිති.

2001 වර්ෂයේ පළමු වරට උස පැනීමේ ඉසව්වේ ජාතික ශූරයා බවට පත්වූ මංජුල කුමාර විජේසේකර එම වර්ෂයේ ම කණිෂ්ට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් ජාත්‍යන්තර වරම් දිනාගැනීමට ද සමත් වන්නේය. 2001 වර්ෂයේ මීටර 2.10ක දක්ෂතාවයක් සමඟ උස පැනීමේ ජාතික වාර්තාව සම කරන මංජුල වසර 18කට පසුව අදටත් මීටර 2.15 දක්ෂතාවයක් දැක්වීම සතුටට කරුණකි.

නමුත් කණගාටුවට කරුණ නම් 15වතාවකට වඩා උස පැනීමේ ජාතික ශූරයා වූද, තම මව්බිම වෙනුවෙන් දෙවරක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් දිනූ, තුන් වරක් දකුණු ආසියානු රන් පදක්කම් දිනූ, වරෙක ආසියානු ගෘහස්ථ ලෝකඩ පදක්කම් දිනූ මංජුල කුමාර විජේසේකර හට හෙට (ඔක්තෝබර් 25) ආරම්භ වන ජාතික මහා ක්‍රීඩා උළෙල අහිමි වී ඇති බව දැන ගන්නට ලැබීමයි. මංජුල 11 වරක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ උස පැනීමේ රන් පදක්කම් දිනා ගත්තා සේම 7වරක් දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත්තේය. ඒ පසුගිය වර්ෂයේ රන් පදක්කම සහ දක්ෂතම මලල ක්‍රීඩකයා සම්මාන ද සහිතවය.

මංජුල කුමාර මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ උස පැනීමේ තරග ඉසව්වට සහභාගි වීමට අවසරයක් ඉල්ලා යොමු කළ ලිපිය ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ මංජුල පසුගිය වසර තුළ දිස්ත්‍රික්, පළාත් තරග හෝ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම යන කරුණු මුල් කර ගනිමිනි. මංජුල මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන අතර පසුගියදා ඔස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වන අතර ඒ සඳහා අවසරය සහ අනුග්‍රහය ලබා දී ඇත්තේ ද ඔහු නියෝජනය කරන දකුණු පළාත් සභාව විසිනි. තරගාවලියට ඔහු සහභාගී වන්නේ ද ක්‍රීඩා නිලධාරීන් ද දැනුවත් කිරීමට පසුවය. එම තරගාවලියේ මෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ තරගාවලියක් දීද මංජුල මීටර 2.15 ක දක්ෂතාවයක් දක්වන්නේය. එය ජාතික මහා ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ පරිසාධන මට්ටම වන මීටර 2.10ට වඩා වැඩි අගයකි. නමුත් ප්‍රතික්ෂේප වූ තම ඉල්ලීමට පසුව මංජුල අවසන් වරට තම මව්බිමේ තරග වැදීමට සිටි ආශාව සිතින් ද අතහැරීමට සූදානම් වී සිටින්නේය. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පවා අවසන් වර ශූරයන් හට මෙවර තරගාවලියේ එම ඉසව්වට එක්වීමේ අවස්ථාව නිතරගයෙන් හිමි වුව ද ශ්‍රී ලංකා ජාතික මහා ක්‍රීඩා උළෙලට එවැනි අවස්ථාවක් නොමැති වීම පුදුමයකි.

වරක් දෙවරක් ඔහුට ජාතික ශූරතාවය අහිමි වූවා නම් ඒ ඔහු ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන කාල සීමාවේදීය. එම කාල සීමාව ද දෛවෝපගත ගත ලෙස උස පැනීමේ ඉසව්වේ හා බැඳී තිබීම ද අපූරුය. ඒ එම කාල සීමාව පුරාම මංජුල කුමාර නම් උස පැනීමේ ශූරයා පසුපසම සිටි යෝධ සෙවනැල්ල ද හිටපු ජාතික උස පැනීමේ ශූරයෙක් වීමය. නාගලිංගම් එදිරිවීරසිංගම් නම් වූ ඒ අපූරු හිතවතා 1958 හෝ ආසන්න වර්ෂයක ශ්‍රී ලංකාවට පළමු ආසියානු පදක්කම දිනා දී ඇත්තේය. එමෙන්ම 1952 හා 1956 වර්ෂවල ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා නියෝජනය ද නාගලිංගම් එදිරිවීරසිංගම් මහතාය. (මංජුල උපාධිය ලැබූ දින ඡායාරූපයේ සිටින්නේ ද ඒ මහතාය) තවත් විශේෂත්වයක් වන්නේ 1956න් පසුව උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා නියෝජනය ලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වූ පළමු ක්‍රීඩකයා වන්නේ ද මංජුල කුමාර විජේසේකර වීමයි. ඔලිම්පික් වලට අමතරව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උළෙල ඇතුලු ජාත්‍යන්තර තරගාවලි රැසක ඔහු තම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය.

නමුත් මංජුල ලබන මස නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ද සහභාගී නොවනු ඇත. මංජුල වයසයි, මංජුලට දැන් jumpඑක දාන්න බැහැ යැයි තැන තැන යම් පුද්ගලයන් අදහස් පල කළත් මංජුල නිහඬව තම දස්කම් දක්වන්නේය. මීටර 2.27 ජාතික වාර්තාවේ හිමි කරුද වන මංජුල , 2016 වර්ෂයේ තමන්ගේ ගෝලයෙක් ද තමන් හා කරට කර තරග කරන මට්ටමට රැගෙන එන්නේය. තිළිණ කරුණාරත්න නම් එවකට 19හැවිරිදි එම ක්‍රීඩකයා මංජුල හා කරට කර තරග කරමින් මීටර 2.17 ක දක්ෂතාවයක් දක්වද්දී ඒ ගැන වඩාත් සතුටු වූයේ මංජුලය. තිළිණ ද දැන් රට හැර ගොස් ඇති බව දැන ගන්නට ලැබුණි. නමුත් මංජුල තවත් දක්ෂයෙක් නිර්මාණය කර තිබීම සතුටකි. ඒ පසුගියදා දකුණු ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ රන් පදක්කම දිනූ ගාල්ල මහින්ද විද්‍යාලයේ තරිඳු දසුන්ය. ඔහුගේ වත්මන් දක්ෂතාවය මීටර 2.12කි.

මංජුල නම් ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගත්ත ද මංජුල කුමාර විජේසේකර නම් පුහුණුකරුගේ ගමන කිසිවෙක් හට නතර කරන්නට නොහැකි වනු ඇත. එසේ සිදු නොවිය ද යුතුයි. ඒ සියල්ලටම වඩා මංජුල නම් නිහතමානී ධෛර්යවන්ත චරිතය ද ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවනු ඇත.

– සුපුන් රජිත හෙට්ටිආරච්චි

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org