ආසියානු ශුරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නොමැකෙන සටහන්

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala, Top Stories

ආසියානු කලාපයේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලි අතරින් ශ්‍රී ලංකාව ඉහළම දක්ෂතා දක්වා ඇති තරගාවලියක් ලෙස ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දැක්විය හැකිය. මෙවර 23 වැනි වරට පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 15 දෙනෙකුගෙන් සමන්විත ප්‍රභල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.

අප්‍රේල් 21 වැනිදා සිට 24 වැනි දා දක්වා කටාර් හී දෝහා නගයේ පැවැත්වෙන තරගාවලිය පසුගිය තරගාවලි හා සැසඳීමේ දී විශේෂත්වයක් උසුලනු ඇත. ඒ මෙම වසරේ දොහා හී දී ම පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට පෙර පූර්ව පර්යේෂණ තරගාවලියක් ලෙස පැවැත්වීම හේතුවෙනි.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්තා කළ ජයග්‍රහණ රැසක් අතරින් විශේෂ අවස්ථා කිහිපයක් ගැන විමසා බලමු.

පළමු පදක්කම

ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වරට මෙම තරගාවලියට ඉදිරිපත්ව ඇත්තේ 1975 වසරේ දී වන අතර, එහි දී මීටර් 400 සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී වාර්තා වූ පළමු පදක්කම ලෙස වාර්තා අතරට එක්වේ.  ඒ ප්‍රේමචන්ද්‍ර, ඩබ්ලිව් විමලදාස, බන්දුල ජයසිංහ හා ඩර්වින් පෙරේරා මෙම පදක්කම හිමිකරගනිද්දී, ඉන්දියාව හා ජපානය රන් හා රිදී පදක්කම් දිනා ගත්තේය.

පළමු ඒකල පදක්කම

1975 වසරේ දී පළමු වරට සහභාගී වූව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ඒකල පදක්කමක් දිනා ගැනීමට 1991 වසර දක්වා බලා සිටීමට සිදුවිය. මලයාසියාවේ දී පැවැති මෙම තරගාවලියේ දී විජිතා අමරසේකර විසින් කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 50.90 ක දක්ෂතාවක් දක්වා ලෝකඩ පදක්කම දිනා ගනිමින් පළමු ආසියානු ශුරතා පදක්කම දිනා ගැනීමේ ගෞරවය හිමිකරගත්තාය.

90 දශකයේ ස්වර්ණමය යුගයක ආරම්භය

1993 වසරේ පිලිපීනයේ මැනිලා නුවර පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවට සොඳුරු මතක එක් කළේය.

දර්ශා, ධම්මිකා හා ශ්‍රියාණී පදක්කම් දිනා ගනිමින් පදක්කම් පිපාසය සංසිදුවීමට සමත් වූවාය. දමයන්ති දර්ශා මීටර් 200 ඉසව්ව තත්පර 23.29 කින් අවසන් කරමින් රිදී පදක්කම දිනාගනිද්දී ශ්‍රියානී කුලවන්ස මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම තත්පර 13.38 ක දක්ෂතාව සමගින් හිමිකරගත්තාය. මීටර් 800 ඉසව්වෙන් ශ්‍රියානී ධම්මිකා මැණිකේ ද මිනිත්තු 2.08.90 ක කාලයක් සමගින් ලෝකඩ පදක්කම හිමිකරගත්තාය. ඊට අමතරව මෙම තරගාවලියට සහභාගී වූ මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම ද ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත් විය.

පළමු රන් පදක්කම

1995 වසරේ දී ඉන්දුනීසියාවේ දී පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිකරගැනීමේ අවස්ථාව හිමි වූවාය. සුසන්තිකා ජයසිංහ තත්පර 23.00 ක කාලයක් වාර්තා කරමින් මීටර් 200 රන් පදක්කම දිනා ගනිද්දී, ශ්‍රියාණී කුලවංස තත්පර 13.29 ක කාලයක් සටහන් කරමින් මීටර් 100 කඩුලු මතින් දිවීමේ රන් පදක්කම තමා සතු කරගත්තාය. සුසන්තිකා ජයසිංහ මෙම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ තත්පර 11.37 ක කාලයක් සටහන් කරමින් රිදී පදක්කම ද දිනා ගත් අතර,  සුගත් තිලකරත්න තත්පර 46.21 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම  හිමිකරගත්තේය. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම මීටර් 400 සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගනිමින් පළමු වරට වැඩිම පදක්කම් සංඛ්‍යාව වාර්තා කළ අවස්ථාව සටහන් කරමින් පදක්කම් සටහනේ 6 වැනි තැනට පිවිසීමට සමත්විය.

ස්වර්ණමය යුගය

ඉන්දියාව ද අභිබවා යමින් ආසියානු කරයේ 5 වැනි තැනට පත්වීමේ දුර්ලභ අවස්ථාව හිමිකරගත් ස්වර්ණමය අවස්ථාව ලෙස 1998 තරගාවලිය හඳුන්වා දිය හැකිය. සුගත් තිලකරත්න හා දමයන්තී දර්ශා තරගාවලි වාර්තා සමගින් මීටර් 400 රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, ශ්‍රියානී කුලවන්ස ද පුද්ගලික හෝඳම කාලය වන තත්පර 13.16ක කාලය
, මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය. අදටත් මීටර් 400 පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ලෙස පවතින්නේ මෙම තරගාවලියේ සුගත් විසින් තරග නිමි කාලය ලෙස සටහන් කල තත්පර 44.61 ක කාලයයි. එසේම මීටර් 400 සහාය දිවීමේ පිරිමි ඉසව්වෙන් ද සුපුරුදු ලෙස ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිවීමත් සමගින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පිවිසීමට සමත් විය.

වැඩිම රන් පදක්කම් ගොන්න

තරගාවලි ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව දිනාගත් තරගාවලිය ලෙස ඉන්දුනීසියාවේ 2000 වසරේ පැවැති තරගාවලිය දැක්විය හැකිය. දමයන්තී දර්ශා මීටර් 200 හා 400 කාන්තා ඉසව්වල දී රන් පදක්කම් දිනා ගත්තේ පිළිවෙලින් තරගාවලි වාර්තාවක් (තත්පර  22.84)  හා ශ්‍රී ලංකා වාර්තාවක් (තත්පර 51.05)  පිහිටුවමිනි. අදටත් ශ්‍රී ලංකා වාර්තාව ලෙස මීටර් 400 කාන්තා ඉසව්වෙන් පවතින්නේ තත්පර 51.05 වන වාර්තාවයි. පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනා ගැනීමට මෙහි දී හරිජන් රත්නායක සමත් විය. තත්පර 49.44ක් වූ එම දක්ෂතාව අදටත් ශ්‍රී ලංකා වාර්තාව ලෙස පැවැතීම විශේෂත්වයක් වේ.

එතෙක් රන් පදක්කම හිමිකරගැනීමට අපොහොසත්ව ලෝකඩ පදක්කමින් පමණක් සෑහීමට පත් වෙමින් සිටි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා වාර්තාව සමගින් රන් පදක්කම ගෙල පැළඳගැනීමට වාසනාවන්ත වූවාය. මනුර ලංකා, රත්න කුමාර, රංග විමලවන්ස හා රොහාන් ප්‍රදීප් කුමාර එක්ව පිහිටුවූ මිනිත්තු 3.02.71 ක ශ්‍රී ලංකා වාර්තාව අදටත් නොබිඳී පවතියි. ශ්‍රී ලංකාව එම තරගාවලියේ දිනාගත් සෙස රන් පදක්කම වන්නේ, කාන්තා මීටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කමයි.

තරගාවලිය කොළඹට

2002 වසරේ දී ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවු අතර, සුසන්තිකා ජයසිංහ තරගාවලි වාර්තා ද්විත්වයක් සමගින් මීටර් 100 (තත්පර 11.29) හා 200 (තත්පර 22.84) ඉසව් ජයගැනීමට සමත් වීම විෆශ්ෂත්වයක් විය. ශ්‍රියානී කුලවන්ස මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වේ රිදී පදක්කම (තත්පර 13.43) දිනා ගත් අතර, සුගත් තිලකරත්න මීටර් 400 ඉස්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මේ අතර, මෙරට ක්‍රීඩා ලොලීන්ට නව අත්දැකීමක් ලබා දෙමින් පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම රන් පදක්කම දිනා ගැනීමට ද මෙම තරගාවලියේ දී සමත්විය. සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර හා රංග විමලවන්ස එම කණ්ඩායම නියෝජනය කළේය.  එහි කාන්තා සහාය දිවීමේ ඉසව්වේ දී, ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකි විය.

2003 රන් මතක සටහන්

පිලීපීනයේ මැනීලා හීදී පැවැති තරගාවලියේ දී නැවත රන් පදක්කම දිනා ගැනීමට, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම සමත් විය.  මිනිත්තු 3:03.05 කාලයකින් රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකයන් වූයේ ද  සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර   හා රංග විමලවන්සයි. මෙහිදී මීටර් 10000 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනිමින් දිගු දුර ධාවන ඉසව්වල නව පිටුවක් පෙරළීමට සුජීවා නිල්මිණී ජයසේන සමත් වූවාය. දිගු දුර ඉසව්වල දී මෙවන් දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වෙමින් ඇය රිදී පදක්කම දිනා ගත්තේ, මිනිත්තු 34:46.99 ක කාලයක් වාර්ත කරමිනි. වසර ගණනක ඇවෑමෙන් නැවත පිටිය ඉසව්වකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඈන් මහේෂි  ද සිල්වා මෙම තරගාවලියේ දී සමත්වූවාය. හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් ඇය දැක්වූ දක්ෂතාව මීටර් 50.18ක් වේ.

මංජුලගේ සුපිරි පිම්ම 

2005 දී දකුණු කොරියාවේ ඉන්චාන් හී දී පැවැති තරගාවලියේ දී උස පැනීමේ නව  ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මංජුල කුමාර සමත් විය. මීටර් 2.27 ක් වූ මෙම දක්ෂතාව වසර 14ක ඇවෑමෙන් පසු ද මේවනතෙක්  ශ්‍රී ලංකා වාර්තාව ලෙස නොබිඳී පවතීයි. මෙම තරගාවලියේ දී, මීටර් 200 ඉසව්වෙන් දමයන්තී දර්ශා නැවතත්, රන් පදක්කම දිනා දීමට සමත් වූ අතර, මීටර් 400 ඉසව්වෙන් ප්‍රසන්න අමරසේකර හා  රොහාන් ප්‍රදීප් කුමාර   පිළිවෙලින් රිදී හා ලෝකඩ පදක්කම් දිනා දීමට සමත්වීය. ප්‍රසන්න, රොහාන්ට අමතරව මනුර ලංකා හා රෝහිත පුශ්පකුමාර එක්ව මීටර් 400 සහාය දිවීම ඉසව්වේ රිදී පදක්කම ද ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්විය. 2003 වසරේ දී ලෝකඩ පදක්කම දිනා ගත් ඈන් මහේෂී ද සිල්වා නැවත වරක් තම දක්ෂතාව වැඩි දියුණුකරගනිමින් හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වෙන් මීටර් 54.86 දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා දීමට සමත්වූවාය.

ප්‍රසන්නගේ රංගනය (2007)

මීටර් 400 ඉසව්වේ රන් පදක්කම් ලාභියෙකු ලෙස ගෞරවයට පාත්‍රවීමට ප්‍රසන්න අමරසේකරට 2007 වසරේ ජෝදාන් හී පැවැති තරගාවලියේ දී වාසනාව උදා විය. තත්පර 46.71 කාලයකින් තරගය අවසන් කළ ප්‍රසන්න, අශෝක ජයසුන්දර, ශිවන්ත් වීරසූරිය හා රෝහිත පුශ්පකුමාර හා එක්ව මීටර් 400 සහාය දිවීමේ රිදී පදක්කම ද ශ්‍රී ලංකා කණ්ඩායමට දිනා දීමට සමත්විය.

මේ අතර, සුසන්තිකා ජයසිංහ සුපුරුදු ලෙස මීටර් 100 හා 200 ඉසව්වල දී රන් පදක්කම් ද්විත්වය ගෙලලා ගනිද්දී බුද්ධිකා සුජානී මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම තමා සතු කරගැනීමට සමත් වූවාය. ඊට අමතරව මේනකා වික්‍රමසිංහ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කමත් (තත්පර 54.11), නදීකා ලක්මාලී හෙල්ල විසිකිරීමෙන්  ලෝකඩ පදක්කමත් (මීටර් 52.59)  දිනා දීමට සමත් වූවාය.

යුගයක අවසානය හා නව ඇරඹුම

චීනයේ පැවැති 2009 තරගාවලියේ දී, වැඩි දක්ෂතා පිළිබිඹු නොවූ වසරක් ලෙස අතීතයට එක්වේ. මංජුල කුමාර මීටර් 2.23 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනා ගත් අතර, චමින්ද විජේකොන් මිනිත්තු 3:47.01  ක කාලයක් වැයකරමින් මීටර් 1500 රිදී පදක්කම දිනා ගත්තේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු මීට සහභාගී වුව ද, මෙවර පදක්කම් දෙකකින් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

චන්ද්‍රිකාගේ රිදී පදක්කම

2011 වසරේ ජපානයේ කෝබේ හී දී පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ද නැවත ශ්‍රී ලංකාව පෙර පැවති දක්ෂතා ප්‍රදර්ශණය නොකළ කණ්ඩායමක් බවට පත් විය.

චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක තත්පර 53.35 ක දක්ෂතාවක් සමගින් හිමිකරගත් රිදී පදක්කමට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ ලෝකඩ පදක්කම් දෙකක් පමණි.

චමින්ද විජේකෝන් මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම (මිනිත්තු 3:44.01) දිනා ගනිද්දී, ක්‍රිස්ටින් මෙරිල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම (තත්පර 57.30 ) දිනා දීමට සමත් වූවාය.

හෙල්ල විසි කිරිමේ නව පිම්ම

ඉන්දියාවේ පූනේ හී දී පැවැති ආසියානු ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට රිදී පදක්කම් දෙකක් ළඟා කරදීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සචිත් මදුරංග හා නදීකා ලක්මාලී සමත් විය.

සචිත් මදුරංග මීටර් 79.62 ක් හා නදීකා ලක්මලී මීටර් 60.16 ක් ලෙස දැක්වූ දක්ෂතාවන් ශ්‍රී ලංකා වාර්තා අතරට එක්විය. සචිත් මදුරංගගේ ශ්‍රී ලංකා වාර්තාව පසුව සුමේධ රණසිංහ විසින් බිඳ හෙලුව ද නදීකා ලක්මාලීගේ වාර්තාව අදටත් බිඳ වාර්තා අතර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ දි දිනාගත් අනෙක් පදක්කම වූයේ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ දී දිනා ගත් ලෝකඩ පදක්කමයි.

එක පදක්කකමකින් සෑහීමට පත්වූ තරගාවලිය

2015 චීනයේ වුහාන් හී දී පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෑත ඉතිහාසයේ දී පෙන්වූ අවම දක්ෂතා දැක්වූ තරගාවලිය ලෙස වාර්තා අතරට එක්වේ. නිමාලී ලියනාරච්චී මීටර් 800 කාන්තා ඉසව්වෙන් දිනා ගත් ලෝකඩ පදක්කමට අමතරව කිසිදු ඉසව්වකින් පදක්කම් අතරට පිවිසීමට නොහැකි විය.

ඉන්දියාවෙන් උදුරාගත් රන් පදක්කම

අවසන් වරට ආසියානු ශූරතාව පැවැත්වූ ඉන්දියාවේ බුබනේශ්වර් හිදී   ශ්‍රී ලංකාවට රන් පදක්කමකින් හා රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වූවාය.
ඉන්දියානු ක්‍රීඩිකාවක් විසින්, මීටර් 800 කාන්තා අවසන් තරගයේ දී ගයන්තිකා අබේරත්න හා නිමාලී ලියනාරච්චිව අවහිර කරමින් ජයග්‍රහණය කිරීම පසුව සනාථ වීම හේතුවෙන්, නිමාලි ලියනාරච්චිට (2:05.23)  හා ගයන්තිකා අබේරත්නට (2:05.27)  රන් හා රිදී පදක්කම් පිළිවෙලින් ප්‍රධානය කිරීමට සංවිධායකයන් පියවර ගත්තේය.
මේ අතර, හෙල්ල විසිකිරීමෙන් නදීශා දිල්හානී ලේකම්ගේ,  මීටර් 200 ඉසව්වෙන් රුමේෂිකා රත්නායක   හා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.
පසුගිය වසරේ රිදී පදක්කම් ලාභිනියන් වූ, රුමේෂිකා රත්නායක, නදීෂා දිල්හානී ලේකම්ගේ මෙන්ම, මීටර් 400 සහාය දිවීමේ සමාජිකයන් වූ, තරුෂ ධනංජය, දිලිප් රුවන් හා කාලිංග කුමාරගේ මෙවර කණ්ඩායමට ඇතුළත් වීමට අපොහොසත් වීම කණගාටුදායකය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org