බෙන්තර ගඟ එගොඩින් මැදි දුරට පෑයූ රුසිරු

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

බෙත්තොට, එහෙමත් නැත්නම් බෙන්තර සිට ඇල්පිටිය දක්වා ගමන් කරද්දී, හමුවන මිරිස්වත්ත ගම්මානයෙන් ජාතික තලයට පිවිසි හීන්දෑරී කොලු ගැටයෙකු මෙම වසරේ මීටර් 800 හා 1500 ඉසව්වල දී ඉහළ දක්ෂතා අතරට පිවිසෙමින් ජයග්‍රහණ වාර්තා කරනු දැකගත හැකි විය.

නමින් රුසිරු චතුරංග නම් මොහුගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය වන්නේද යුද හමුදාවට පිං සිදුවන්නටයි.

මිරිස්වත්ත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රුසිරු ගම හරහා දුවගොස් මුලින්ම මලල ක්‍රීඩාවට පිවිසියේය.

ඔහුගේ දක්ෂතාව හඳුනා ගනිමින් මූලික පුහුණුවීම් සිදකළ සුනිමල් මනම්පේරී මහතාට ස්තූති වන්ත විය යුතුය.

පාසල් කාලයේදී මීටර් 5000 හා 1500 ඉසව්වලට සහභාගී වුවත්, සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහුට නොහැකි වුව ද, ඉන් වසර 6 ක් ඉක්ම යාමෙන් පසුව ජාතික තලයේ තරග කරුවන්ට අභියෝගයක් වෙමින් උරෙන් උර ගැටෙමින් පදක්කම් පිට පදක්කම් දිනා ගැනීමට ඔහු සමත්ව සිටියි.

ගැමුණු හේවා බල ඇණියට අනුයුක්තව සේවය කරන රුසිරුට, පාසල් ගමනින් පසුව යුද හමුදාවට එක්වීමෙන් පසුව ගුරුහරුකම් දුන්නේ පුහුණුකරුවන් වූ රත්නකුමාර හා මධුක මාරසිංහ යන හිටපු ක්‍රීඩකයන්ය.

ඉන් පසුව මේවනවිට, රංජිත් හෙන්නායක මහතා යටතේ පුහුණුවීම් සිදුකරයි.

කුරුඳු වගාවෙන් ජීවිකාව සරිකරගත් පවුලේ සිව්වැනියා වූ රුසිරට, මලල ක්‍රීඩාව අභරණයක් වූවාට සැක නැත.

පසුගිය වසරේ පැවැති කණිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් පසුව ජයග්‍රාහී මාවතට පිවිසි බව රුසිරු පවසයි.

මීටර් 1500 හා 800 ඉසව් දෙකෙහිම ජයග්‍රහකයා වූ රුසිරු ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද තම නම පදක්කම් සටහනට ඇතුළත් කර ගැනීමට සමත්විය.

එහි මීටර් 800 ඉසව්වෙන් ඉඳුනිල් හේරත්ට හා කුපුන් කුෂාන්තට පරාජය වෙමින් තුන්වැනි ස්ථානය දිනාගත් ඔහු 1500 ඉසව්වෙන් පරාජය වූයේ දමිත් හේමන්තට පමණි.

එසේම එම වසරේ දී පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 1500 ඉසව්වේ රන් පදක්කමත්, මීටර් 800 ඉසව්වේ දී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය. ඉන් නොනැවතුණු ඔහු ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී 1500 ජාතික ශූරයා වූ දමිත් හේමන්ත පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. රුසිරු එම තරගයේ දී ඔහුගේ හොඳම කාලය ද (3:49.66) වාර්තා කිරීමට සමත් විය.

සාර්ථක වසරකින් පසුව මෙම වසරේ දී ද, තම නම ඉදිරියේ ජයග්‍රහණ රැසක් සටහන් කරගැනීමට මේ කෙසඟ ක්‍රීඩකයාට හැකිවිය.

මෙම වසරේ තරග දක්ෂතා පහතින් දක්වා ඇත.

වියට්නාම තරගාවලියේ 1500 ලෝකඩ පදක්කම දිනාගැනීමෙන් පසුව

ජාත්‍යන්තර තරග අත්දැකීම් නැති ඔහු මෙම වසරේ දී පැවති වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවෙමින් මීටර් 800 ඉසව්වෙන් පුද්ගලික හොඳම කාලය වාර්ත කරමින් රිදී පදක්කමත් මීටර් 1500 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් දිනා ගැනීම විශේෂත්වයක් වේ.

කෙසේ වෙතත්, ඔහුට මෙම ඉසව් දෙකෙන් ජාත්‍යන්තර ජය ගැනීමට නම් විශාල කැපවීමකින් ඒ සඳහා සූදානම් විය යුතුවේ. ඉඳුනිල් හේරත්, කුපුන් කුෂාන්ත, දමිත් හේමන්ත මෙන්ම කණිෂ්ඨ ක්‍රීඩකයන් වන හර්ෂ කරුණාරත්න, ඉසුරු ලක්ෂාන් වැන්නවුන් සමගින් කරට කර තරගයක් ලබා දෙමින් පුද්ගලික කාලය වර්ධනය කරගැනීටම් මහගු අවස්ථාවක් ලබන වසරේ දී  රුසිරුට හිමිවණු ඇත.

මෙම වසරේ තරග සාරාංශය

පළමු ජාතික තේරීම් තරගාවලිය
මීටර් 800- දෙවන ස්ථානය – 1:51.34
මීටර් 1500 – දෙවන ස්ථානය -3:56.23
පළමු ජාතික තේරීම් තරගාවලිය
මීටර් 800- පළමු ස්ථානය – 1:51.31
වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලිය
මීටර් 800 රිදී පදක්කම – හොඳම කාලය – 1:49.83
මීටර් 1500 – ලෝකඩ පදක්කම -3:55.66
ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය
මීටර් 800- රන් පදක්කම – 1:51.30
ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලිය
මීටර් 800- ලෝකඩ පදක්කම – 1:53.72
ජාතික මහා ක්‍රීඩා උළෙල
මීටර් 800- රිදී පදක්කම -1:51.23
මීටර් 1500 – රන් පදක්කම – 3:54.59
යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය
මීටර් 800 – රිදී පදක්කම – 1:50.59
මීටර් 1500 – රන් පදක්කම – 3:54.39

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org