යුද හමුදා මලල ක්‍රීඩා: පළමු දිනයේම වාර්තා පහක්, යුද හමුදා වාර්තා තුනක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ දීම තරගාවලි වාර්තා පහක් පිහිටුවීමට ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඉන් තුනක් මෙතෙක් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ඉසව්වලදී දැක්වූ ඉහළම දක්ෂතා වීම ද විශේෂත්වයක් විය.

දිනයේ වැඩි අවධානයක් දිනා ගැනීමට කාලිංග කුමාරගේ සමත් වූයේ මීටර් 200 පිරිමි ඉසව්ව තත්පර 20.71 ක කාලයකින් ජය ගැනීමත් සමගයි. එය මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු එම ඉසව්වෙන් දැක්වූ තුන්වැනි හොඳම කාලය ලෙස වාර්තා අතරට එක්වේ. මින් පෙර ශ්‍රී ලංකා වාර්තාව හිමි විනෝජ් සුරංජය තත්පර 20.68 ක දක්ෂතාවක් දැක්වූ අතර, ඉන් පෙර වාර්තාවට හිමිකම් කී සුගත් තිලකරත්න විසින් තත්පර 20.69 ක දක්ෂතාවක් වාර්තා කර තිබිණ.

හිමාෂ ඒෂන් (21.12) තුන්වැනි තැනට පත් කරමින් ඩබ්ලිව්. විජේරත්න 21.11 රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.

පෙරවරුවේ පැවැති කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය ජයගත් කෞෂල්‍යා මධුශානී ද නව තරගාවලි වාර්තාවක් සමගින් ජය වාර්තා කළ අතර ඇය මෙතෙක් එම ඉසව්වෙන් වේගවත්ම කාලයක් වාර්තා කළ තෙවැන්නිය ලෙස වාර්තා අතරට එක්විය. ඇයගේ දක්ෂතාව සම්බන්ධයෙන් වූ වාර්තාව කියවන්න

හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි සුමේධ රණසිංහ ද නව තරගාවලි වාර්තාවක් සමගින් සිය ඉසව්ව ජයගත්තේ මීටර් 78.89 ක දක්ෂතාවක් දක්වමින්.

එහිදී සම්පත් රණසිංහ දෙවැනි ස්ථානයට පත් වූ අතර (75.21) පී ඒ ලක්මාල් මීටර් 71.82 ක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයට පත්විය.

කාන්තා රිටි පැනීමේ ජාතික ශුරිය වන සචිනී පෙරේරා ද මීටර් 3.41 ක දක්ෂතාවක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් සමගින් රන් පදක්කම හිමිකරගත්තාය.

දිනයේ වාර්තා වූ සෙසු තරගාවලි වාර්තාවට හිමිකම් කීවේ, උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංකයි.

මීටර් 2.22 ක දක්ෂතාවක් දක්වමින් ඔහු රන් පදක්කම දිනාගත්තේය.

තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org