අනාගතයට පායා ආ තරු පොකුර – යො. ඔලිම්පික් උළෙලේ අවසන් තරග නොපැවැත්වුණේ ඇයි ? 

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආර්ජන්ටිනාවේ දී පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී නැවතත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ජාත්‍යන්තරේ ජයගැනීමේ මට්ටමක පවතින බවට සනාථ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමවෙනුවෙන් පාරමී වසන්තී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර සෙසු ක්‍රීඩකයන් දෙදෙනා හා ක්‍රීඩිකාව ද තම උපරිම දක්ෂතාවන් දක්වමින් පළමු 10 දෙනා අතර ස්ථාන රැකගැනීමට සමත් විය.

පාරමී මාරිස්ටෙලා විසින් හිමිකර ගත් එම පදක්කම මෙරට ඉතිහාසයේ යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලාංකිකයෙකු හිමිකරගත් එකම පදක්කමයි.

එසේම බැඩ්මින්ටන් ක්‍රීඩිකා හසිනී අම්බලන්ගොඩගේ ක්‍රීඩිකාව තරගාවලිියට සහභාගීවූ විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්ද සුදුම්ලත් ඇල්ෆා කණ්ඩායම නියෝජනය කරමින් ජයග්‍රහණ දෙකකට උරදෙමින් සිය කණ්ඩායම⁣ට රන් පදක්කම දිනා දීමට උර දුන්නාය.

ඒ සඳහා කණ්ඩායමට හිමිවු පදක්කමේ කොටසක හිමිකාරිය වන්නට ඇයට හැකි විය.

උස පැනීමේ ක්‍රීඩක සෙනිරු අමරසිංහ තරගාවලියේ සිව්වැන්නා ලෙස උපරිම දක්ෂතාව සම කරමින් (මීටර් 2.14) තරගය අවසන් කළ අතර, ඩිලාන් බෝගොඩද සිය උපරිම දක්ෂතාව (තත්පර 48.52) දැක්වමින් මීටර් 400 ඉසව්වේදී හොඳම ක්‍රීඩකයන් අතර 7 වැන්නා වීමට සමත්විය.

මේ අතර, වැඩිදෙනාගේ අවධානය හිමිකරගත් ක්‍රීඩිකාව වූ ශෙලින්ඩා ජැන්සන් සිය පුද්ගලික හොඳම කාලය (තත්පර 24.07) වාර්තා කරමින් දෙවැනි වටයේ දෙවැනි මූලික තරගය ජයගැනීමට සමත් වූවාය.

ඇය පළමු හා දෙවැනි අදියර වලදී දැක්වූ දක්ෂතා අනුව එම ඉසව්වේ ක්‍රීඩිකාවන් අතර   9 වැනියා වීමට සමත් වූවාය.

⁣ශෙලින්ඩා එ් වාර්තා කරපු කාලය අවුරුදු 20 න් පහළ ලංකාවෙ ක්‍රීඩිකාවක් දක්වපු තුන්වෙනි හොඳම කාලය ලෙස වාර්තාවන අතර, ඇයට තවත් වසර ‍දෙකක් අවුරුදු 20 න් පහළ කණිෂ්ඨ වයස් කාණ්ඩයේ තරගවැදීමේ අවස්ථාව හිමිවේ.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවති ආකාරට හා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරාගත් නිර්ණායක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පහත දැක්වේ.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එක් එක් මහද්වීපයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගත් ක්‍රමවේදයක් පැවතින. ඒ අනුව ආසියාවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංක ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකු තායිලන්තයේ පැවැති තෝරාගැනීමේ තරගාවලියට සහභාගී විය.

තෝරාගැනීමේ ක්‍රියා පටිපාටියේ ලේඛණය 

එහිදී උස පැනීමේ ක්‍රීඩකයන් සිව්දෙනෙකුට ලැබුණු අවස්ථාවෙන් සෙනිරු අමරසිංහ අවස්ථාව ලබා ගත්තේ,  රිදී පදක්කම දිනා ගනිමින් අංක එකේ ක්‍රීඩකයා ලෙසයි. තරගයේ ප්‍රථිඵලය 

එම තරගාවලියේ මීටර් 400 බාලක ඉසව්වට තෝරා ගනු ලැබු ක්‍රීඩකයන් පස්දෙනා අතරින් ඩිලාන් බොගොඩ රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙමින් ආසියාවේ අංක එකේ ක්‍රීඩකයා ලෙස සුදුසුකම් ලැබීය.  තරගයේ ප්‍රථිඵලය 

පාරමී වසන්තීද රන් පදක්කම දිනා ගනිමින් මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් යොවුන් ඔලිම්පික් සිහිනය සැබෑ කරගත්තේ, ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණක් ආසියාවෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමිනි. පාරමී ඉගෙනුම ලබන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අශ්මිකා හේරත් එහිදී 3 වැනි ස්ථානය හිමිකරගත්තාය. තරගයේ ප්‍රථිඵලය 

මේ අතර, ශෙලින්ඩා ජැන්සන් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත්තේ, මීටර් 200 බාලිකා ඉසව්වේ සිව්වැනි ස්ථානය හිමිකරගත් ක්‍රීඩිකාව ලෙසයි.
තරගයේ ප්‍රථිඵලය 

ඒ අනුව ආසියාව නියෝජනය කිරීමේ අවස්ථාවද ශ්‍රී ලංකා කණ්ඩායමට වක්‍රාකාරයෙන් හිමිවිය.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් තරග හා අවසන් පූර්ව තරග තිබුණා ද ?

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැත්වූ නීති මාලාව 

මෙම තරගාවලියේ දී, අවසන් තරග නොපැවැත්වීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබිණ. ඒ අනුව සුදුසුකම් ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම තරග ඉසව්වේ දෙවරක් තරග වැදීමේ අවස්ථාව හිමිවිය.

උදාහරණයක් ලෙස ගත් විට, මීටර් 400 ඉසව්වේ මූලික තරග 3 ක් පැවති අතර,  ඉන් අවසන් පූර්ව හෝ අවසන් තරගයට ක්‍රීඩකයන් තෝරාගත්තේ නැත. එසේ වුනි නම් මූලික වටයේ දී පරාජය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවත තරග කිරීමේ අවස්ථාව හිමි නොවේ.

එ් හේතුවෙන්, මූලික වටයේ තරග පවත්වා අවසන්වූ පසුව එහි හොඳම දක්ෂාතාව දැක්වූ පළමු ක්‍රීඩකයන් අට දෙනා දෙවැනි වටයේ දී එක් තරගයකට ඇතුළත් කර සෙසු ක්‍රීඩකයන්ට ද නැවත වරක්, තරග කිරීමේ අවස්ථාව ලබා දුනි.

ඒ අනුව අදියර දෙකේ දැක්වූ දක්ෂතා පදනම් කරගෙන පදක්කම් පිරිණැමීමට සංවිධායකයන් කටයුතු කළේය.

පිටියේ ඉසව් වල දී, සෑම ක්‍රීඩකයාටම අදියර දෙකේදීම තරග අවස්ථාව ලබා දීමක් සිදුවිය.

මීටර් 1500, මීටර් 2000 බාධක දිවීම හා මීටර් 3000 ධාවන ඉසව් සඳහා සහභාගීවූවන්ට දෙවැනි අදියර ලෙස පැවැත්වූයේ කිලෝමීටර් 4 ක රට හරහා දිවීමේ බාධක දිවීමේ තරගයකි.

එම අදියර දෙක සඳහා ලකුණු ලබා දීමක් සිදකළ එතර එහි උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් හිමිවිය.

මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලා ඇයගේ ඉසව්වේ දී තුන්වැනි ස්ථානය දිනාගත් අතර, කිලෝමීටර් 4 ක රට හරහා දිවීමේ බාධක තරගයේ දී 17 වැනි ස්ථානය හිමිකරගත්තාය.

ඇය 17 වැනි ස්ථානය හිමිකරගත්ත ද  මීටර් 2000 බාධක දිවීමට සහභාගීවූ ක්‍රීඩකාවන් අතරින් සිව්වැනි ස්ථානයට පත් වීමට සමත් වීම හේතුවෙන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සුදුසුකම් ලැබුවාය.

වයස අවුරුදු 18 න් පහළ දරු දැරියන් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, තරග කිරීමේ වැඩි අවස්ථාව ලබා දීමේ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණැතිව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් මලල ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මෙම පියවරගෙන ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය තරග කාල සටහනෙන් ඉවත් කිරීමට මින් ඉහත පියවර ගෙන තිබිණ.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org