කපුකොටුවට ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ලැබුණු කැකිල්ලේ තීන්දුව

By www.ceylonathletics.com | | Latest News, Sinhala

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුවදී අවසන් වූයේ, එක් තරගාවලි වාර්තාවක් පමණක් වාර්තා පොත් අතරට එක් කරමිනි.

මිටිය විසිකිරීමෙන් එම වාර්තාව පිහිටුවූ වයඹ පළාත නියෝජනය කළ චරිත් කපුකොටුවට තරගාවලියේ අවසන් දිනයේ දී අපූරු තීරණයකට මුහුණ දීමට සිදුවිය.

ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු කරමින්, ක්‍රීඩා පුහුණුවීම්වල යෙදෙන චරිත් කපුකොටුව ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී, කවපෙත්ත විසිකිරීම, මිටිය විසිකිරීම හා යගුලිය දැමීම යන ඉසව් ත්‍රිත්වයට සහභාගී විය.

නමුත්, අවසන් දිනයේ පැවැති යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් පසුව, දකුණු පළාතෙන් හා බස්නාහිර පළාතෙන් ඔහුගේ සහභාගීත්වය අභියෝගයට ලක් කරමින් ජයග්‍රහණ අවලංගු කරන ලෙස අභියාචනා ඉදිරිපත් කර තිබේ.

නිසි ලෙස සුදුසුකම් සපුරා නොමැතිව ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගීව ඇති බව ඔවුන්ගේ චෝදනාව වුවත්, වයඹ පළාත මගින් නිසි ලෙස අයදුම් පත් යොමුකර ඇති බව වාර්තා විය.

තම පළාත නියෝජනය කරමින් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම අදාළ පළාත් ක්‍රීඩා ඒකක මගින් සිදුකරනු ලබයි.

මිටිය විසිකිරීම ඉසව්වේ මෙන්ම යගුලිය විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන චරිත් කපුකොටුවට, ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම අහිමි කිරීමට සංවිධායකයන් තීරණය කළේ ඔහු තරගාවලියට සහභාගීවූයේ සුදුසුකම් රහිත ක්‍රීඩකයෙකු ලෙස යැයි පවසමින්.

කපුකොටුවට ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගීවිය නොහැකි කාරණා ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ, නිසි ලෙස පරිසාධන මට්ටම පසුකර නැති බවයි.

ඒ අනුව, යගුලිය විසිකිරීමේ ඉසව්ව මීටර් 16.24 ක දක්ෂතාවක් දක්වා ජයගත් කපුකොටුවගේ පදක්කම ලබා නොදී දෙවැනි ස්ථානය හිමිවූ බස්නාහිර පළාත නියෝජනය කළ ජෝයි ධනුශ්ක පෙරේරාට එය ලබා දීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, ජෝයි ධනුශ්ක එය ප්‍රතික්ෂේප කර ඇත බව ද වාර්තා වේ.

ජෝයි ධනුශ්ක ෆේස්බුක් සටහනක් තබා පවසන්නේ, ඉහත තීරණය අසාධාරණ තීරණයක් බවත්, හිතට එකඟව එය තීන්දුව භාරගැනීමට තමන්ට නොහැකි බවත් වේ.

එම සටහන පහත දැක්වේ.

එම තරගයේ වීඩියෝව

ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී අසාධාරණයට ලක්වූ පළමු ක්‍රීඩකයා චරිත් කපුකොටුව නොවේ. ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් නුවරඑළිය දී පැවැති රට හරහා දිවීමේ තරගාවලියේ දී ද ජාතික තලයේ දක්ෂතා අතර සිටි ආර් එම් එස් පුෂ්පකුමාරට හා නිලානී රත්නායකට ද සමාන තීරණයකට හිස නැවීමට සිදුවිය.

ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව

චරිත් කපුකොටුව ක්‍රීඩා උළෙලේ නීති රීති උල්ලංගණය කළ ක්‍රීඩකයෙකු ලෙස තරගාවලියට සහභාගී වී ඇති බව තහවුරු වන්නේ නම්, එක් ජයග්‍රහණයක් පමණක් අවලංගු කළේ කුමන පදනමකින් ද ? තරගාවලියේ දී සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමානව සැලකිය යුතු අතර, එක් ක්‍රීඩකයෙකුට හෝ අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලය වගකීම භාරගත යුතුවේ.

චරිත් කපුකොටුව අසාධාරණ ලෙස නීති විරෝධීව ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු නම්, ඔහු රන් පදක්කම දිනා ගත් මිටිය විසිකිරීමේ හා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වල දී ඔහු හමුවේ පරාජය වූ ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු නොවේ ද ?

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාප්ති උළෙලේ දී පලාත් නිළධාරීන් විරෝධතාවක් දක්වනු ඇතැයි බිය වූ ක්‍රීඩා අමාත්‍යංශය බලධාරීන් මෙලෙස පය බරවාට පිටිකර බෙහෙත් බැඳ ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මීට සාධාරණ තීන්දුවක් ගැනීමට එකඟව තිබේ.

චරිත් සහභාගී වූ මිටිය විසි කිරීමේ තරගය

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org