ජාතික ශූරතාවේ දක්ෂතා පදනම් කරගෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවිය හැකි ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

පසුගිය සති අන්තයේ දී අවසන් වූ 96 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මෙරට ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ සාධනීය වර්ධනයක් හා තරගකාරීත්වයක් ප්‍රදර්ශනය විය.

එය මෙරට මලල ක්‍රීඩාවේ ඉදිරි අනාගතය සඳහා සුභදායක වනු ඇත.

තරගාවලිය අවසානයේ දී, බොහෝ දෙනා කළ විමසීමක් වෙනුවෙන් මෙම ලිපිය වෙන් කිරීමට අප තීරණය කළෙමු.

මෙවර තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වූවන්ට ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව ලැබෙනවා ද ?

සරල පිළිතුර නැත යන්නයි.

මන්ද යත්, ආසියානු ඔලිම්පික් කමිටුව විසින් ඒ ඒ ක්‍රීඩා සඳහා සහභාගීවන්නන් තරගාවලියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, මෙම වසරේ ජනවාරි මස 31 වැනි දා වන විට අදාළ ක්‍රීඩාවට යොමු කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දීර්ඝ ලේඛණය ඉදිරිපත් කිරීමට අවශ්‍යවේ.

මෙරට ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ලබා දෙන කෝටාවට අනුව එම සංඛ්‍යාව තීරණය වේ.

ඉන් අනතුරුව අප්‍රේල් මස 30 වැනි දා වන විට සහභාගී කරවිය හැකි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව නිල වශයෙන් සංවිධායකයන් වෙත ලබා දීමට අවශ්‍යවේ.

කලක පටන් මලල ක්‍රීඩාව වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉතා අඩු ක්‍රීඩක සහභාගීත්වයක් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන්, වර්ථමානය වන විට ද ඉතා අවම සහභාගීත්වයක් සිදු කිරීමට සිදුව තිබෙනු ඇතැයි වාර්තා වේ.

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවන කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් දිනය ලෙස දැක්වෙන්නේ ජූනි 30 වැනි දායි.

එදින වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සිදුවෙයි.

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව හිමිවන්නේ ජූනි 30 වැනි දිනට පෙර යෝජනා කළ කණ්ඩායමට පමණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට කටුයුතු කළේය.

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන කණ්ඩායමේ ශරීර යෝග්‍යතාව හා දක්ෂතා මැන බැලීමට හා නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් ලෙස පමණක් ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලිය යොදා ගත් අතර, එහිදී දැක්වූ දක්ෂතා අනුව ඉහත ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හැකියාවක් නීත්‍යානූකල තත්ත්වය තුළ නොමැත.

කෙසේ වෙතත්, ජනවාරි මස ඉදිරිපත් කළ දීර්ඝ ලේඛණයේ නම සඳහන් දුර පැනීමේ ක්‍රීඩක අමිල ජයසිරි ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ඉදිරිපත් කර තිබේ.

එසේම, මීටර් 400 සහාය දිවීමේ කාන්තා කණ්ඩායමක් ඇතුළත් කිරීමේ අරමුණැතිව දීර්ඝ නාම ලේඛනයේ සඳහන් නොවූ , කාන්තා මීටර් 400 ඉසව්වේ පළමු ස්ථාන දෙක හිමිකරගත් නදීෂා රාමනායක හා නිර්මලි මධුෂිකා ද ඇතුළත් කරන මෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ඔලිම්පික් කමිටුව විසින් ලබා දෙන ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ සංඛ්‍යාව සීමිත වීම මත, පසුගිය ආසියානු ක්‍රීඩා උළෙල කිහිපයේ ලෝකඩ පදක්කම හිමිකරගත් දක්ෂතා පදනම් කරගනිමින් පසුගිය වසරේ දී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඛණ්ඩව දැක්වූ දක්ෂතාද පදනම් කරගනිමින් දීර්ඝ ලේඛණය සකසා ඇති බව වාර්තා වේ.

මෙම පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවේ, අප වෙතින් විශාල පිරිසක් සිදුකළ විමසීමට පැහැදිලි කිරීමක් ලෙසයි.

මෙය ජාත්‍යන්තර තරගාවලියක පවතින නීතිමය රාමුව හා උපදෙස් ක්‍රීඩා ලෝලීන්ට පැහැදිලි කිරීම අප සතු වගකීමක් ලෙස සලකමින් මෙය පල කළ අතර මෙම ලිපිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිළ ප්‍රකාශයක් නොවේ.

යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතහොත් අපවෙත එය යොමුකරන ලෙස කරුණාවෙන් ඉල්ලමු. ceylonathletics@gmail.com

ආසියානු ක්‍රීඩා උළෙල නිළ උපදෙස් මාලාව මෙතනින්..

ආසියානු ක්‍රීඩා උළෙල නිළ උපදෙස් මාලාවේ 26 වැනි පිටුවේ ඇති උපදෙස් පහතින් දැක්වේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org