කනිෂ්ඨ කළමනාකරු අනිල්ගේ ජපන් ගමනට වැට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්‌ඩායමේ කළමනාකරු අනිල් වීරසිංහ නමැත්තාට ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවීමට මේ දක්‌වා අවසර ලබා දී නොමැති බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් එච්. ටී. කමල් පද්මසිරි මහතා පවසයි.

ඔහු සම්බන්ධයෙන් පැවති පරීක්‌ෂණ වාර්තාව අධ්‍යයනය කරන තෙක්‌ ඉහත තරගාවලියට සහභාගීවන කණ්‌ඩායමට ද අවසර ලබා දී නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රීඩා සංගම් රැසක පරිපාලන දුර්වලතා වාර්තා වී ඇති පසුබිමක, අමාත්‍යංශය පාර්ශ්වයෙන් සෘජු තීන්දු තීරණ ගැනීමේ කාලය එළඹ ඇති බව ද ලේකම්වරයා පැවසීය.

මෙම පත්කිරීම හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සවිස්‌තර වාර්තාවක්‌ තමා වෙත ලැබී ඇති බවත්, එය අධ්‍යයනය කිරීමෙන් පසුව සැමට පූර්වාදර්ශයක්‌ වන තීරණයකට එළඹීමට සූදානම් බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද පැවැති මාධ්‍ය හමුවක දී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆd මහතා ද රටේ ක්‍රීඩාවේ අනාගතය ගැන සලකා බලා තීරණයක්‌ ගන්නා බව ප්‍රකාශ කළේ.

අදාළ වාර්තාවේ අඩංගු කරුණු අද දිනය තුළ සමාලෝචනයකට ලක්‌ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලය පවරන බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆd මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් ඉහත පුද්ගලයා වෙත එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන නමුත්, මේ දක්‌වා එවැනි තත්ත්වයක්‌ දක්‌නට නොමැති වීම මත ක්‍රීඩා අමාත්‍යංශය මගින් පරීක්‌ෂණයක්‌ සිදුකළ අතර එහි වාර්තාව පසුගිය බදාදා අමාත්‍යංශ ලේකම්වරයාට හා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට යොමු කර තිබේ.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 35 දෙනකුගෙන් සාක්‌ෂි විමසා සටහන් ලබාගෙන තිබේ.

“මම ඒ සම්බන්ධයෙන් නැවත වරක්‌ සොයල බලල රටට සුභදායී තීරණයක්‌ ගන්නව. මලල ක්‍රීඩාවට සංගමයක්‌ තියනව. කළමනාකරු පත් කිරීම වැරදි තීන්දුවක්‌ නම් මැනේජර්ට විරුද්ධව නෙවෙයි සංගමයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. සංගමයෙන් හරි දෙයක්‌ වෙන්නෙ නැත්තන් සංගමයට විරුද්ධව අපි තීන්දු තීරණ ගත යුතුයි. මම අද මගේ ලේකම් තුමාත් ගෙනල්ල රටට සුභදායී තීන්දුවක්‌ ගන්නම්.” ක්‍රීඩා අමාත්‍යවරයා කිවේය.

මෙවන් වටපිටාවක නැවතත් ඉහත සඳහන් කළ කළමනාකරු කනිෂ්ඨ කණ්‌ඩායමේ කළමනාකරු ලෙස පත් කර ආසියානු ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට යෑවීම හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන්ගේ ද අප්‍රසාදය පළවී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කළමනාකරු ලෙස කටයුතු කළ අනිල් වීරසිංහ එහිදී තම සේවය පැහැර හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ චිත්ත ධෛර්යය හීන කරමින් කටයුතු කළ බවට චෝදනා එල්ල විය.

එසේම මින් ඉහත දී ද කනිෂ්ඨ කණ්‌ඩායම්වල කළමනාකරු ලෙස කටයුතු කරමින් අත්තනෝමතිකව ක්‍රියා කර ඇති මොහු සම්බන්ධයෙන් සමන් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යංශය මගිනි.

ඒ අනුව පසුගිය කාල පරාසය තුළ අනිල් වීරසිංහ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු විමසා බලා සකස්‌ කළ සම්පූර්ණ වාර්තාවක්‌ ලෙස ඉහත වාර්තාව සඳහන් වේ.

ආසියානු ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆQ හිදී ලබන මස 7 වැනි දා සිට 10 වැනි දා දක්‌වා පැවැත්වීමට නියමිත ය.

–  දිවයින

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org