අනිල් ජපානයට, මලල ක්‍රීඩාවේ අනාගතය කොයිබට ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ක්‍රීඩා අමාත්‍යංශයෙන් ද පරීක්ෂණයක් කරන අවස්ථාවක නැවත ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ භාරකාරකත්වය අනිල් වීරසිංහට ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ඉන් හැඟී යන්නේ, මලල ක්‍රීඩාවේ අනාගතය අනිල් වීරසිංහ යටතේ සුරක්ෂිත බවය.

මෙරට ප්‍රධාන මාධ්‍ය දිගින් දිගටම ඔහුගේ කළමණාකරන දැනුම සම්බන්ධයෙන් විවේචන සිදු කරද්දී, මෙලෙස ඔහුව විශ්වාස කරමින්, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන කණ්ඩායමේ කලමනාකරු ලෙස  පත් කිරීම මෙරට මලල ක්‍රීඩාවේ නිරත වූවන් ගේ හාස්‍යයට ලක්ව තිබේ.

කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණින් තමා ක්‍රියා කළ බව පවසන මෙතුමා, පසුගිය සතිය තුළ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සැලසීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගිය සතිය පුරාම මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පුරා සාකච්චාවට ගැනින.

කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය කැඳවා දින තුනක් යනතෙක් නේවාසිකාගාරය වෙත හෝ නොපැමිණි කලමණාකරු, දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට දින හතරක් පමණක් ඉතිරිව තිබියදී සිය බල පරාක්‍රමය ඉස්මතු කිරීම, ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ මෙන්ම දෙමාපියන්ට ද මානසික පීඩනයක් ගෙන දෙන්නක් විය.

තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, විනය සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට දින තුනක් ප්‍රමාණවත් දැයි ඉහත කී අත්දැකීම් බහුල කලමණාකරු දැන සිටිය යුතු අතර, ඔහු එම අවස්ථාවේ සිදු කළ යුතු ව තිබුණේ දරු දැරියන් 84 ගේ සිත දිනා ගනිමින් මලල ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් වූ මෙම තරගාවලියේ ඉහළ පදක්කම් සංඛ්‍යාවක් ලබා ගැනීමට ඉඩ හසර සකස් කිරීමය.

නමුත්, ඒ වෙනුවට ඔහු සිදුකළේ හයක් හතරක් නොදත් දරුවන් නොමග යවමින්, අත්සන් ලබා ගනිමින් තමන් අතුළු දරු දැරියන් මාධ්‍ය ඉදිරියේ මානසික පීඩනයට ලක්ව ඇතැයි මුසා බස් දොඩමින් කාලය කා දැමීමයි.

දරු දැරියන් 84 කට අවශ්‍ය පහසුකම් ආහාර පාන සනීපාරක්ෂක පහසුකම් සඳහා සැලසුම් සකස් කිරිම හා පුහුණුකටයුතු, ප්‍රවාහන පහසුකම් හා තරගාවලිය පැවැත්වෙන දිනයේ දී ලබා දිය යුතු ආහාර පාන මෙන්ම පහසුකම් සැලසීමට ක්‍රියා කිරිම ඔහු සතු යුතුකමක් හා වගකීමක් වේ.

කෙසේ වෙතත්, ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම් හා අනෙක් පහසුකම් සියල්ල මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාගේ හා පත්කල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවද්දී, කලමනාකරු ක්‍රීඩාංගණයට හෝ නොපැමිණ අසනීප වී යැයි පවසමින් කර ඇර සිටීම හාස්‍ය ජනකය.

අත්දැකීම් බහුල යැයි පවසන ඒ මහතාට, ඉහත කරුණු දුරකතනය ඔස්සේ සම්බන්ධීකරණය කරමින් කලමනාකරණය කළ හැකියාව තිබුණ ද, ඔහු ඒ සඳහා උනන්දුවක් හෝ නොදැක්වූ බව තතු දත්තෝ පවසයි.

තරගාවලියට පෙර දින කලමණාකරු විසින් ක්‍රීඩක ක්‍රිඩිකාවන්, ජල හා විදුලිය පහසුකම් නොමැති නේවාසිකාගාරයේ පැය 10 ක් පමණ තබා හිතවතුන් සමගින් සතුටු සාමිච්චියේ යෙදුණ බවට වාර්තා විය.

තරගාවලියට පෙර දින ක්‍රීඩක නේවාසිකාගාරයේ විදුලි පහසුකම් පෙරවරු 10 සිට අඩපණව තිබූ බව අදාල බලධාරීන්ට දැනුවත් කිරිමට අපොහොසත්ව තිබීම හේතුවෙන් රාත්‍රිය වන තුරු දරු දැරියන්ට ජලය හා විදුලිය නොමැතිව ගත කිරිමට සිදුවිය.

මාධ්‍යවේදීන්ට  මේබව සැලවීමත් සමගින් කළ දැනුම් දීමෙන් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා මැදිහත්ව තාවකාලිකව විදුලිය ලබා දෙන විට රාත්‍රී 8.15 වී තිබිණ. ඒවනවිටත් ඉහත කී කළමණාකරු කණ්ඩායම සමග සිට අවශ්‍ය උපදෙස් හෝ ලබා දීම සිදුකර නොමැත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද ගෞරවයට පාත්‍රවීමට අපොහොසත් වූ මෙවන් කෙනෙකු යටතේ මලල ක්‍රීඩාවේ අනාගතය කොයිබට ගමන් කරනු ඇත් දැයි ප්‍රශ්නාර්ථයක් වේ.

පසුගිය දින කිහිපය තුළ ගෞරවය  බලෙන් ලබා ගැනීමට ක්‍රියා කළ අවස්ථා කිහිපයක් මාධ්‍යවෙත වාර්ථා විය.

අනිල්ගේ අත්සන් විප්ලවය

වරක් හිතවත් පුහුණුකරුවෙකු ලවා ක්‍රීඩක ක්‍රිඩිකාවන් හා පුහුණුකරුවන්ගේ අත්සන් ලබා ගනිමින් තමන් අහිංසකයෙකු බවත්, මාධ්‍ය වාර්ථා අසත්‍යබවත් පවසමින් ලිපියක් සකස් කළ ද පසුව අනාවරණය වූයේ , දරු දැරියන් හා පුහුණුකරුවන් නොමග යවමින් අත්සන් ලබා ගෙන ඇති බවය.

ක්‍රීඩක ක්‍රීඩිකවන් හා පුහුණුකරුවන් සත්‍ය අවබෝධකරගැනීමෙන් අනතුරුව තම අත්සන් කපා දැමීමමට කටයුතු කලා පමණක් නොව, කලමණාකරුගේ හා ඔහුගේ හිතවතුන්ගේ ක්‍රියාව සමච්චලයට ලක්කළේය.

නැවතත්, තරගාවලිය පැවැත්වෙන දෙවැනි දිනයේ පෙරවරුවේ  දී ද  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලවා නැවත අත්සන් ලබා ගැනීමට උත්සාහ කිරීමක් වාර්තා වුව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට දැක්වූ විරෝධය හමුවේ එයද අකුලා ගැනීමට සිදුවිය.

ඉන් නොනැවතී, නිළධාරීන්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ද දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් ප්‍රධානීන්ගේ අත්සන් ලබා ගෙන තිබේ.

එම අත්සන් ලබා ගැනීමේ දී, ලිපියේ ඇති කරුණු නොදැන අත්සන් කළ පිරිසක් වන බව හැඟේ. එසේ නැතහොත් ඔවුන්, ලිපිය කුමක් වුව ද අත්සන් තබන බව පැවසූ පිරිසක් විය හැක. ඉන් එක් පුද්ගලයෙකු තම සංගමයේ නම ඉංග්‍රීසි භාෂාවෙන් වරක් ලියා අත්සන් කර ඇති අතර සිංහල භාෂාවෙන් නැවත සංගමයේ නම ලියා අත්සන් තබා තිබේ. ඉන් හැඟී යන්නේ තම අත්සන තබන්නේ කුමක් අරඹයාද යන්නවත් මොවුන් නොදැන සිටි බවය.


දකුණු ආසියාවේ ජය කෙහෙළි නැංවුද ආසියානු කරය කණිෂ්ඨයන් ලෙස අතික්‍රමණය කිරීමට ශක්තියක් ඇති මෙහෙයුම් කරුවෙකු අවශ්‍යය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියනු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දී මෙරට කණ්ඩාය ේ සිියලුු දෙනා පදක්කම්   දිනා ගැනීමට අවස්ථාව ඇතත්, ගරු නොකරන බලෙන් ගරුත්වය බලාපොරොත්තුවන නිළධාරියෙකු යටතේ අය සිදුවේ දැයි සැක සහිතය.

පසුගිය සතිය පුරාම කිසිදු ප්‍රධාන මාධ්‍යයකට තම නිරවද්‍යතාව තහවුරු කිරීමට අපොහොසත්වූ ඉහත කී පුද්ගලයා තරගාවලියේ අවසන් දිනයේ දී, ක්‍රීඩාංගණයේ අඳුරු මුල්ලකට වී තමන් රන් පදක්කම් 15 ක් බලාපොරොත්තු වූ බවත්, මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තුවූ රන් පදක්කම් 10 ට වැඩි ප්‍රමාණයක් තමන්ගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස ලබා ගැනීමට හැකි වූ බවත් හිතෛෂීන් කිහිපදෙනෙකුට පැවසීම හාස්‍ය ජනකය.

එසේම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන කණ්ඩායම නම් කිරිමට ද හෙතෙම එහිදී ක්‍රියා කර ඇති අතර, එහිදී තරගාවලියේ ස්වභාවය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන්ගේ ප්‍රමාණය ගැනහෝ හැදෑරීමක් නොකළ බව ප්‍රත්‍යක්ෂ වේ.

අනිල් වීරසිංහ නම් උප සභාපතිවරයා පාසල් මලල ක්‍රිඩා සංගමයේ ලේකම්වරයා ලෙස සිටිමින් ක්‍රීඩාව නගා සිටුවීමට කළ මෙහෙය ගැන අතීතයේ සිට මලල ක්‍රීඩාව පරිශීලනය කළ වුන් දන්නා කරූණකි.

විචාරකයන් පවසන්නේ එවකට මලල ක්‍රීඩාවේ අනාගතය, නියපොත්තෙන් විනාශ කළ මේ පුද්ගලයා, වර්ථමානයේ පොරව කරතබා ගෙන මලල ක්‍රීඩාව මුලිනුපුටා දැමීමට දත කන බවයි.

එසේ නැතහොත් මෙවැනි විරෝධතාවක් හමුවේ වුව ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ආශිර්වාදය ලබා ගැනීමට සමත් වීමම විශ්මය උපදවන්නකි.

ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව කළමණාකරු ජාත්‍යන්තරය සමග ගනුදෙණු කිරිමේ දී ජාත්‍යන්තර භාශාවක් උගත යුතු නොවේ. නමුත්, මෙරට දී වත්, තම මව් භාෂාවෙන් හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සැලසීමට අසමත් වීම අමාත්‍යවරයාගේ අවධානයට ලක්වනු නොඅනුමානය.


සැ.යු.  අද දින ප්‍රධාන පුවත් පත් කිහිපයක ඉහත සඳහන් වූ දෝශාභියා්ගය සම්බන්ධයෙන් වාර්ථාවීම හේතුවෙන් මෙලෙස පළ කරන ලදී.


පසුගිය සතිය තුළ ප්‍රධාන මධ්‍ය හරහා ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org