ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය දිනේෂ්ට රිදී පදක්කමක්

By www.ceylonathletics.com | | Top Stories

එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ජ්-46 වර්ගීකරණය යටතේ තරග වැදුණු හේරත් මීටර් 57.93ක දුරක් හෙල්ලය විසිකරමින් රිදී පදක්කමට හිමිකම් කියන විට එම ඉසව්වේ රන් පදක්කම හිමිවූවේ ඉන්දියාවේ සුන්දර් ගුර්ජාර්ටය. පසුගිය රියෝ පැරාලිම්පික් උළෙලේදී මීටර් 58.23ක් හෙල්ලය විසිකරමින් ලෝකඩ පදක්කමකට හිමිකම් කියූ දිනේෂ් ප්‍රියන්ත හේරත් එවන් ලෝක මට්ටමෙන් ජයගත් 2 වැනි පදක්කම මෙය ලෙසද වාර්තා වනු ඇත.

තවද යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුක්තව සිටින හේරත් 2009දී කිලිනොච්චියේදී මුහුණ දුන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තම වම් අත ආබාධිත තත්ත්වයට පත් වූ අතර ඉන් පසුව මෙම අංශයෙන් ක්‍රීඩාවෙහි යෙදී ඇත. මෙවර එංගලන්ත පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ තම තරග ඉසව්වේදී 4 වැනි විසිකිරීමෙන් හේරත් රිදී පදක්කමට අවශ්‍ය සුදුසුකම් ලබාගත් අතර ඔහුගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා යනු ඔලිම්පික් ක්‍රීඩක සුමේධ රණසිංහ හා වර්තමානයේ ජාතික හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක වරුණ ලක්ෂාන්ගේද පුහුණුකරුවාය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා ‘අපි මෙහි ලන්ඩන් නුවරට ළගා වුණේ 13දා මධ්‍යම රාත්‍රියේදී. හේරත්ගේ ඉසව්ව තිබුණ 14දා රාත්‍රියේ. ඇවිල්ල පැය 24කටත් අඩු කාලයකදී තරග වැදිල ලැබූ මෙම ජයග්‍රහණය ගැන මම සතුටට පත්වෙනවා. නැත්නම් මම ඉලක්ක කරගෙන හිටියේ රන් පදක්කමයි. අපිට එන්න ප්‍රමාද වුණේ වීසා ලබා ගැනීමේ ප්‍රමාදයයි’ යනුවෙන් පැවැසීය. තවද කණ්ඩායමේ කළමනාකරුවා හා අනෙක් පුහුණුකරුවන් පෙරේදා (15දා) වන විටත් එංගලන්තයට ළඟා නොවූ බවට වාර්තා වූ අතර මීටර් 200 කාන්තා ඉසව්වට සහභාගි වූ අමරා ඉන්දුමතී ප්‍රමාද වී ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් තරගාවලියේ ඉදිරියට යෑමට අපොහොසත් වූවාය.

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org