ආසියානු ග්‍රොන් ප්‍රී – නිමාලි හා හිමාෂ පදක්කම් අතරට, රුමේෂීට වසරේ හොඳම කාලය

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර අද චීනයේ ජ්‍යෑසිං හීදී පැවැත්විණ.

මෙම අදියරේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුද්ගලිකව උපරිම දක්ෂතා දැක්වීමේ අවස්ථාව නොලැබින.

හිමාෂ ඒෂාන් නැවතත්, චීන ක්‍රීඩක මී හොංග් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්, රිදී පදක්කමින් සෑහීමට පත්වීමට සිදුවිය. හිමාෂ පළමු අදියරේදී ඉහත ක්‍රීඩකයා හමුවේ පරාජය වීම හේතුවෙන්, රිදී පදක්කම හිමිකරගැනීමට සමත්විය.

හිමාෂ අද දැක්වූ දක්ෂතාව තත්පර 10.47 ක් වන අතර, ජයවාර්තා කල මී හොංග් තරගය අවසන් කළේ 10.40 ක කාලයක් වාර්තා කරමිනි.

හිමාෂ මෙන්ම මී හොංග් ද උපරිම දක්ෂතා නොදැක්වීම කැපී පෙනින.

මීටර් 100 කාන්තා ඉසව්වට සහභාගීවූ රුමේෂී රත්නායක තත්පර 11.81ක කාලයක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානයට පත්විය.

කසක්සාතන ක්‍රීඩිකා ස්‍යාබිනා වික්ටෝරියා (Zyabkina Viktoriya) තත්පර 11.36 ක දක්ෂතාවක් දක්වමින් තරගය ජයගනිද්දී, ඉන්දියානු ක්‍රීඩිකා දුටී චාන්ද් 11.57 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමිකරගැනීමට සමත්විය.

මීටර් 800 කාන්තා ඉසව්වේ දී, නිමාලී ලියනාරච්චි නැවත දක්ෂතා අතරට පැමිණෙමින්, ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූයේ මිනිත්තු 2:07.51 ක දක්ෂතාවක් දක්වමිනි. පසුගිය අදියරේදී ලෝකඩ පදක්කම දිනාගත් ගයන්තිකා අබේරත්නට අද හිමිවූයේ පස්වැනි ස්ථානයයි.

පළමු අදියරේ ජයග්‍රහණය වාර්තා කළ වැන්ග් චුන්යූ රන් පදක්කම දිනාගනිද්දී, ඉන්දියාවේ ටින්ටු ලුකා රිදී පදක්කම දිනගත්තේ ද උපරිම දක්ෂතා අතරට ලක් නොවී වීම විශේෂත්යක්.

ටින්ටු ලූකා මිනිත්තු දෙකකට අඩු කාලයකින් මීටර් 800 ඉසව්ව ජයගෙන ඇති ක්‍රීඩිකාවක් වුවත්, අද දෙවැනි ස්ථානයට පත්වූයේ මිනිත්තු 2:06.32 ක කාලයක් වාර්තා කරමිනි.

හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගීවෙමින් සුමේද රණසිංහට හා වරුණ ලක්ෂාන්ට නැවතත් සාර්ථක අවසානයක් ළඟා කරගැනීමට හැකිවූයේ නැත.

සුමේධ මීටර් 74.85 ක දක්ෂතාවක් දක්වද්දී, වරුණ ලක්ෂාන්ට දැක්වීමට හැකිවූයේ, මීටර 73.74 ක දක්ෂතාවක් පමණි.

පළමු අදියරේ මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඉඳුනිල් හේරත් අද මිනිත්තු 1:50.99 ක දක්ෂතාවක් දැක්වුවත්, හිමිවුයේ සිව්වැනි ස්ථානයයි.

පසුගිය වර ඔලිම්පික් උළෙල නියෝජනය කල ඉන්දියාවේ ජින්සන් ජොන්සන්ට මෙහිදී හිමිවූයේ අවසන් ස්ථානය වීම විශේෂත්වක්.

මේ අතර, උස පැනීමේ ජාතික ශූරියක වන තරංගා විනෝදනීට මෙම අදියරේ ද අවම උස ප්‍රමාණය හෝ තරණය කළ හැකිවූයේ නැත.

පළමු අදියරේදීද ඇය මීටර් 1.65 ක් වූ අවම උස ප්‍රමාණය තරණය කිරීමට සමත්වූයේ නැත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා

හිමාෂ ඒෂාන් – මීටර් 100 – පිරිමි – තත්පර 10.47 – රිදී පදක්කම
නිමාලී ලියනාරච්චි – මීටර් 800 – කාන්තා – මිනිත්තු 2:07.51 – ලෝකඩ පදක්කම
ගයන්තිකා අබේරත්න – මීටර් 800 – කාන්තා – මිනිත්තු 2:10.42 – 5 වැනි ස්ථානය
ඉඳුනිල් හේරත් – මීටර් 800 – පිරිමි – මිනිත්තු 1:50.99 – 4 වැනි ස්ථානය
රුමේෂිකා රත්නායක – මීටර් 100 – කාන්තා – තත්පර 11.81 – 4 වැනි ස්ථානය (වසරේ හොඳම කාලය)
තාරිකා ප්‍රනාන්දු – යගුලිය විසිකිරීම – කාන්තා – මීටර් 14.58 – 5වැනි ස්ථානය
අජිත් ප්‍රේමකුමාර – මීටර් 400 – පිරිමි – තත්පර 49.53 – 5 වැනි ස්ථානය
සංජය ජයසිංහ – තුන් පිම්ම – පිරිමි – මීටර් 15.03 – 6 වැනි ස්ථානය
සුමේද රණසිංහ – හෙල්ල විසිකිරීම – මීටර් 74.85 – 6 වැනි ස්ථානය
වරුණ ලක්ෂාන් – හෙල්ල විසිකිරීම – මීටර් 73.74 – 7 වැනි ස්ථානය
තරංගා විනෝදනී – උස පැනීම – තරගය අවසන් කළේ නැත

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org