රට හරහා දිවීමේ රන් පදක්කම්, ජයග්‍රාහකයින්ට අහිමි කරයි.

මෙම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රිඩා තරග ආරම්භ කරමින් රට හරහා දිවීමේ තරගය අද නුවරඑළිය දී අවසන් විය.

කෙසේ වෙතත් මෙවර ජයග්‍රහණය ජයග්‍රාහකයන් දෙපළටම රන් පදක්කම අහිමි කිරීමේ අපූරු තීරණයක් ද වාර්තාවේ.

කාන්තා අංශයෙන් ජය නිලානී රත්නායක ජයවාර්තා කළ අතර පිරිමි අංශයෙන් ජය වාර්තා කළේ ආර්.එම්.එස්. පුශ්පකුමාර වේ.

නමුත් මොවුන් දෙදෙනාට ම රන් පදක්කම අහිමි වූයේ, ක්‍රීඩා අමාත්‍යංශය මගින් සංවිධානය වූ මෙහි නිළධාරීන්ගේ අත්තනෝමතිත තීරණයක් හේතුවෙනි.

තරගයට සහබාගී වීම සඳහා ලියාපදිංචි වීමට නියමිත වේලාවට පෙර වාර්තා නොකිරීම මොවුන් දෙදෙනාටම එල්ලවී තිබූ චෝදනාවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ ජකාර්තා හී දී පැවැති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී ව සිටි මෙම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා මෙරටට පැමිණියේ ඊයේ අළුයම වන අතර, ඉහත රට හරහා දිවීමේ තරගයේ ලියාපදිංචි කිරීම සිදුව ඇත්තේ පෙරේදා දිනයේදීය.

කැකිල්ලේ රජුගේ තීන්දුවට නොදෙවෙනි තීන්දුවක් ගත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන් ඉහත කරුණ පදනම් කරගනිමින් තරගයට සහභාගීවීමේ අවස්ථාව නිලානීට හා පුෂ්පකුමාරට අහිමි කිරිමට උත්සාහ දැරීය.

කෙසේ වෙතත්, ඉදිරියේ දී පැවැත්වෙන දකුණු ආසියානු හා ආසියානු රටහරහා දිවීමේ තරගාවලි සඳහා සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලියක් ලෙස පැවති මෙම තරගයට ස්වාධීන ක්‍රීඩකයන් ලෙස සහභාගීවීමේ අවස්ථාව නිලානීට හා පුෂ්පකුමාරට හිමිවිය.

ඒ අනුව තරගවැදුණු මොවුන්, කාන්තා පිරිමි ඉසව්වලින් ජයගැනීම නිළධාරීන්ට එල්ල කළ කනේ පහරක් වැනිය.

ජාතික මහා ක්‍රීඩා උළෙලට අනුව පළාත නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාව්න් ඉතා උනන්දුවෙන් සහභාගී වේ. නමුත් මෙම ක්‍රීඩිකාවට හා ක්‍රීඩකයාට, අමනෝඥ නිළධාරීන්ගේ මන්ද මානසිකත්වය හේතුවෙන් පදක්කමක් පැළඳ ගැනීමේ අවස්ථාව අහිමිව ඇත.

නිලානී රත්නායක ඉන්දුනීසියාවේ දී පැවැති තරගාවලියේ දී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනාගත් අතර, මීටර් 1500 ඉසව්වේදී සිය හොඳම දක්ෂතාව දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.

ආර්.එම්.එස්. පුශ්පකුමාර ඉන්දුනීසියාවේදී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හා මීටර් 5000 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා ධජය දෙවරක් එසවීමට සමත්විය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අමනෝඥයන්ට අනුව ජාතික ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට අකැපය.

පසුගිය වසරේ දී ද මෙවැනිම ගැටලුවක් හේතුවෙන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට චෝදනා එල්ලවිය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කරන මහජන මුදලින් දීමනා ලබන නිළධාරීන් තේරුම් ගත යුත්තේ, ක්‍රීඩාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු දේපළක් විනා නිළධාරීන්ගේ දේපොලක් නොවන බවවේ.

ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මෙරට දේශීය තරගයක අවස්ථාව අහිමිවන්නේ නම් මෙරට ක්‍රීඩාවේ අනාගතය කොයිබට ගමන් කරනු ඇද් ද?

මෙරට ක්‍රීඩාව නැංවීම සඳහා ලේඛණගත කර ඇති නීති රීති ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නම්, නීති රීති අණ පනත් තිබීමේ හේතුව කවරක් ද ?

පිරිමි

සමන්ත පුෂ්පකුමාර – බ.ප. – ස්වාධීන ධාවක
එස් චන්ද්‍රසේන – මධ්‍යම – රන් පදක්කම
ලයනල් සමරජීව – මධ්‍යම – රිදී පදක්කම
එරන්ද තෙන්නකෝන් – ඌව – ලෝකඩ පදක්කම

කාන්තා

නිලානී රත්නායක – සබරගමුව – ස්වාධීන
එන්.එම්. නන්දසේන – නැ.ප. – රන් පදක්කම
අනුශා ලමාහේවා – ඌව – රිදී පදක්කම
ලක්මිණි අනුරාධී – මධ්‍යම – ලෝකඩ පදක්කම

Blacky and Nilani win despite Ridiculous Bureaucracy by Sports Officials