මැරතන් කල්යයි ක්‍රීඩකයන් කනස්සල්ලෙන්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙම වසරේ මලල ක්‍රීඩා තරග ආරම්භ කරමින් මාර්තු මස අගදී පැවැත්වීමට නියමිත වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග පැහැදිලි හේතුවක් නොමැතිව කල් දැමීමට සැලසුමක් ඇතැයි වාර්තා වේ.

සෙසු රටවල සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්, විවිධ තරගාවලි පැවැත්වෙන අතර, මෙරට දී ද ක්‍රීඩා තරගාවලි පවත්වන වට පිටාවක මෙලෙස තරගාවලි කල් තැබීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.

මෙරට මලල ක්‍රීඩාවේ ප්‍රධාන තරග ඉසව්වක් වන මැරතන් තරග පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දී ම පැවැත්වීමට හැකි වූයේ නැත.

ඒ අනුව එම ඉසව්වට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද වසර පුරාම පුහුණු කටයුතු සිදුකළද තරග අවස්තා නොමැති වීමෙන් කනස්සල්ලට ලක්ව සිටින බව වාර්තා වේ.

මෙරට දී මැරතන් ඉසව් වැඩි වශයෙන් ජාතික තලයේ දී නොපැවැත්වෙන අතර, පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ද කල් දැමීමට සිදුවිය.

මෙම වසරේ ද මේ වනතෙක් කිසිදු මලල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට අපොහොසත් ව තිබේ.

ඒ අනුව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව හැර යාමේ ප්‍රවණතාවක් මතුව ඇත.

“අපිට මැරතන් තරගයක් පැවැත්වෙන්නෙත් අවුරුද්දකට දෙකක් තුනක් විතර, පහුගිය අවුරුද්දෙම තරගයක් නෑ. මේ වසරෙත් මාස දෙකක් පසුවෙලා තරග නැහැ.”

“පුහුණුකටයුතු කරන සපත්තු කුට්ටමක් රුපියල් 20000-25000 ක් වෙනවා. අපිට අනුග්‍රාහකයො නෑ. සපත්තු කුට්ටම් 4 5 ක් අවශ්‍ය වෙනවා. ඒත් දෙන්න කෙනෙක් නෑ. පොළියට අරගෙන සපත්තු අරන් දුවන්න රේස් නෑ.”

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිත් තැවුල අදාල ප්‍රකාශයේම ගැබ්ව තිබේ. මෙරට මැරතන් ඉසව්වට ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙන් ම අනුග්‍රාහකයන් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසට හැරීමට මැලිවෙයි.

ක්‍රීඩා අමාත්‍යංශය මගින් පවත්වනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්ව හෝ බාලගිරි දෝශයට නතු නොකර පවත්වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කනස්සල්ල දුරු කරනු ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org