වෙස් වලාගත් ආශිර්වාද….

By www.ceylonathletics.com | | Latest News, Sinhala

වෙස් වලාගත් ආශිර්වාද…

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද නිමාවට පත් විය. ඒ සමස්ත මලල ක්‍රීඩා ඉසව් අතරින් ඉසව් 15ක රන් පදක්කම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් වෙත හිමි කර දෙමිනි. ඒ විදෙස් රටක පැවති සාග් ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව් වෙනුවෙන් දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව දිනා ගනිමිනි. (1991 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ ද රන් පදක්කම් 15ක් හිමි විය)

තරගාවලිය ආරම්භයට පෙර සිටම මලල ක්‍රීඩා සංචිතය ගත කලේ යහපත් කාල සීමාවක් නොවේ. තරගාවලිය සඳහා තේරීම් තරග පැවැත්වීමට නියමිත කාල සීමාවේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ආබාධ වලට ලක් වීම සහ අසනීප තත්වයන්ට පත් වීම කණගාටුවට කරුණකි. ඒ අතර මීටර් 100 ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් වූ රැමේෂිකා රත්නායක, මීටර් 1500 ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් වූ හේමන්ත කුමාර මෙන්ම පිරිමි දුර පැනීමේ ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් වූ ප්‍රසාද් විමලසිරි ඇතුලු පිරිස ඇතුලත්ය.

තරගාවලියට කණ්ඩායම පිටත්ව යන දිනට පෙර දිනයේදී ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ නිමාලි ලියනාරච්චි යතුරු පැදියෙන් ගමන් කරන අතරතුර අනතුරකට ලක් වී රෝහල් ගත කෙරුණු අතර නේපාලයට ගිය පසු තවත් ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ නදීෂා රාමනායක ද ඩෙංගු රෝගය හේතුවෙන් එහිදී රෝහල් ගත කෙරුණි.

තරගාවලියට පෙර සිටම නේපාලයට ගිය නිලධාරීන් , ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නවාතැන් පහසුකම් සැපයීමට ලබාදුන් සහයෝගය ද ලැජ්ජා සහගත බව දක්නට ලැබුණි. එකම හෝටලයක කාමර 34 වෙන් කර ඇති බව ඔවුහු පැවසුව ද එහි වෙන් වී තිබුණේ කාමර 12ක් වැනි ප්‍රමාණයකි. ඒ අනුව ක්‍රීඩිකාවන් හට එහි නවාතැන් පහසුකම් සපයා ක්‍රීඩකයන් වෙනත් හෝටල් සොයා ගමන්මලු ද රැගෙන නේපාලයේ වීදි සංචාරය කළේ අනික් රටවල ක්‍රීඩකයා ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදු කරන අතරතුරදීය.

නොලැබෙන දේ ගැන වද නොවන කණ්ඩායමක ශක්තිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලිය නිම කරන්නේ නිලධාරී නඩයට ද කදිම පිළිතුරු ලබා දෙමිනි. මැක්ස්වෙල් ද සිල්වා මලල ක්‍රීඩා කණ්ඩායමට ආශිර්වාද කළේ පුළුවන් නම් පදක්කම් ලබා දෙන ලෙසට අභියෝග කරමිනි. ඒ අභියෝගය විහිළුවක් තරමටවත් සිතිය යුතු දෙයක් නොවන බව දැන් පැහැදිලිය.

නදීෂා රාමනායක වෙනුවට මීටර 400 ඉසව්වේ ආදේශක ක්‍රීඩිකාව වූ දිල්ෂි කුමාරසිංහ ඒ ඉසව්වේ රන් පදක්කම දිනා ඉන් නොනැවතී මීටර 800 ඉසව්වේ රන් පදක්කම ද දිනන්නීය. මීටර 800 ආදේශක ක්‍රීඩිකාව වූ ගයන්තිකා අබේරත්න ද එහි රිදී පදක්කම දිනාගන්නීය. හිරුණි අබේරත්න කල ඉල්ලීම නිසා මීටර් 5000 ඉසව්වට එක් වූ නිලානී රත්නායක එම ඉසව්වේ රන් පදක්කම මෙන්ම නිමාලි වෙනුවට මීටර 1500 ඉසව්වට ඉදිරිපත් වී එහි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය.

හිරුණි විජේරත්න තමන් කල කැප කිරිමට වඩාත් වටිනාකමක් එක් කරමින් කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ එම ඉසව්වේ රන් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට ද පත් වෙමිනි.

මීටර් 400 ×4 කාන්තා ඉසව්වේ ප්‍රධානතම ක්‍රීඩිකාවන් වූ නදීෂා රාමනායක සහ නිමාලි ලියනාරච්චි නොමැති කණ්ඩායමට එක් වූ ගයන්තිකා අබේරත්න සහ ඔමායා උදයංගනී, එම ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාව නම ඉදිරියෙන් තබන්නට සමත් විය.

මැක්ස්වෙල් ද සිල්වා මහතාණෙනි,
නිලධාරී නඩය නියෝජනය කරන ඔබ ඇතුලු පිරිස නැගු ප්‍රශ්න වලට හා කල අභියෝගවලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් වලින් පිළිතුරු දෙන විට ඔබ, එම ධාවන පථයටම පැමිණ ඔවුන් සිප වැලඳ සුභ පතන්නට ආවේ වස්ත්‍රවදැයි ප්‍රශ්නයක් ද මතුවන්නේය. සියලු සහය දිවීමේ ඉසව්වන්ගේ රන් පදක්කම් ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් වන්නේ එකමුතුකමේ ශක්තිය ද නැවත අපට සිහි කැඳවමිනි.

නව ක්‍රීඩා ඇමති ගරු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමනි,

මේ ඔබගේ නිල කාලය තුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන පළමු ජාත්‍යන්තර ජයග්‍රහණ මාලාවයි. මීට පෙර ඇමතිවරුන් එවැනි ජයග්‍රහණයන් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත දුන් පොරොන්දු ඇස් පනාපිට කඩ කිරීම නිසා රට හැරගිය, අකාලයේ ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන මදක් සොයා බලන්න. මෙවර එවැනි ඉරණමක් මේ පිරිසට අත් වන්නට ඉඩ නොතබන ලෙස ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
එසේ වුවහොත් රටට අහිමි වූ චමින්ද විජේකෝන්, සචිත් මධුරංග වැනි ක්‍රීඩකයන් වෙනුවට ඔලිම්පික් දිනන දිල්ෂිලා, අමාෂාලා, හිමාෂලා දකින්නට මෙරට ක්‍රීඩා ලෝලීන්ට හැකි වනු ඇත.

~සුපුන් රජිත හෙට්ටිආරච්චි ~

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org