තණමල්විල ඈත ගමකින් පැමිණ රට දිනූ දැරිය රවිඳි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙවර සමස්ත ලකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ කණිෂ්ඨ අංශයෙන් බාලිකා ශූරතාව දිනා ගැනීමට තණමල්විල විජිතපුර කණිෂ්ඨ විද්‍යාලයේ බාලිකාවියන් සමත් වූවාය.

ඉතා කෙටි කාලයකින්, ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කරගනිමින්, දිවයිනටම අභියෝගයක් එල්ල කිරීමට එහිදී ඔවුන් සමත් වූවාය.

එම කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩිකාවක් වෙත කාගෙත් අවධානය යොමු වූයේ, තරගාවලි වාර්තා දෙකක් සමගින් රන් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වෙමිනි.

නමින් රවිඳි වෙනුරිකා වන 11 හැවිරිදි ඇය, මීටර් 100 ඉසව්ව තත්පර 13.59 ක කාලයකින් නිමකරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන ලද අතර, මීටර් 60 ඉසව්ව තත්පර 8.59 ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාව අලුත් කළාය.

තණමල්විල සිට උඩවලව දෙසට වන්නට පිහිටි දහසයහමාර ප්‍රදේශයේ පිහිටි විජිතපුර කණිෂ්ඨ විද්‍යාලයෙන් මෙම තරගාවලියට වයස අවුරුදු 12 න් පහළ මීටර් 50 සහාය දිවීමේ කණ්ඩායමක් පමණක් සහභාගී වුවද රවිඳි ලබා ගත් රන් පදක්කම් ත්‍රිත්වය හා සහාය කණ්ඩායමට හිමි වූ සිව්වැනි ස්ථානය හේතුවෙන් කණිෂ්ඨ ශූරියන් වීමට හැකිවිය.

කැලේ පිපුණුමල් කැලේම පරවීමට ඉඩ නොදී ජාතික තලයට හඳුන්වා දීමට කටයුතු කිරීම ගැන එම පාසලේ ශරීර අධ්‍යාපන ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ජනක ප්‍රියංග මහතාට ස්තූතිය පළ කල යුතුය.

රවිඳි වෙනුරිකා ද බොහෝ අඟහිඟකම් මැද දිවිගෙව පවුලේ දෙවැනි දරුවා වන අතර. දෙමාපියන්ට ද ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත. පවුලේ දෙවැනි දරුවා වන ඇයගේ වැඩිමල් සොයුරාද අසනීප තත්ත්වයෙන් පසුවන බව වාර්තාවේ.

එවැනි අභියෝග හමුවේ වුවද, තම ශක්තියෙන් පිළිතුරු සපයා සුහහසක් ක්‍රීඩා ලොලීන්ගේ සිත් දිනාගත් වෙනුරිකාට, දිනක මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුපිරි තාරකාවක් වීමට වාසනාව ලැබේවා ප්‍රාර්ථන කරමු.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org