බදුල්ලේ ක්‍රීඩා සැණකෙලියට සියල්ල සූදානම්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

රටේ ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන ‘45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ’ අවසන් අදියර එළැඹෙන සතියේදී (24 වැනිදා සිට) ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2100කගේ සහභාගිත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය කේන්ද්‍රකරගනිමින් ආරම්භ වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක්  ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල සහ අධ්‍යක්ෂ (ක්‍රීඩා) අයි.පී විජේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැත්විණි.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල එහි පැවැති සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස්, මෙරට ක්‍රීඩාවේ අනාගතය උදෙසා ආයෝජනයක් වන ලෙසින් සංවිධානය වී ඇතැයි මෙහිදී ප්‍රකාශ විය.

දක්ෂතම ක්‍රීඩකයා, ක්‍රීඩිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කාර් දෙකක්

මෙවර මලල ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා මෝටර් රථ දෙකක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වා තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා වාර්තාවකට ලක්ෂයක්..

ක්‍රීඩා උළෙලේ බිහිවන නව ශ්‍රී ලංකා වාර්තාවක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් සහ තරගාවලි වාර්තාවක් වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මුදලක් ද ලබා දෙන්නට අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට අමතරව තනි තරග ඉසව් සඳහා ජයග්‍රාහකයින්ට රුපියල් 15000, 10000, 6000 ක් බැගින් ලබා දීමට පියවර ගන්නා අතර කණ්ඩායම් තරග සඳහා එක් ක්‍රීඩකයකුට රුපියල් 6000, 4000, 2000 බැගින් ත්‍යාග ලබාදෙන්නටද සූදානමින් සිටියි.

වියදම සැරයි – ඒත් සතුටුයි

ක්‍රීඩා උළෙල බදුල්ලට ගෙන ගියේ දුර පළාත්වල ක්‍රීඩාවට සවියක් ලබාදීමේ අභිලාෂය ඇතිව බවත්, කොළඹදී තරගාවලියට පැවැත්වීමට සාපේක්ෂව මෙහිදී මුදල් වැය වීම ඉහළ වුවද, අදාළ අරමුණ සැලකීමේදී ඒ සම්බන්ධයෙන් සතුටු වන බව ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මෙහිදී පැවසීය.

පවතින කාලගුණික තත්ත්වයෙන් උළෙලට සිදුවිය බලපෑම කළමනාකරණය කරගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී මාධ්‍ය කළ විමසුමේදී ඒ සඳහා විකල්ප යොදා ඇතත් යහපත් කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව මුතුගල මහතාගේ පිළිතුර විය.

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය යාබදව පිහිටා ඇති කුණු කන්දෙන් වහනය වන දුර්ගන්ධය විසින් මෙම ක්‍රීඩා උළෙලේ කටයුතු කෙරෙහි ඇතිකළ හැකි බලපෑම් සම්බන්ධයෙන් මෙහිදී ‘අරුණ’ කළ විමසුමේදී, ඒ සඳහා බදුල්ල මහ නගර සභාව සමග එක්ව එකඟතාවයෙන් සහ අදාළ විශේෂඥ අංශ සමග එකතුවෙන් වැඩපිළිවෙළක් යොදන බවද, අවශ්‍ය වුවහොත් රුපියල් මිලියනයක වියදමෙන් දුර්ගන්ධය පාලනය කරන වායුවක් විමෝචනය කිරීමේ සූදානමක් ඇති බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org