දුක සතුට මැදින් තරගකාරීව අවසන් වූ ජාතික ශූරතාවලිය – අවසන් දිනය

By www.ceylonathletics.com | | Latest News, Sinhala

තරගාවලියේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකා වාර්තා දෙකක් හා පුද්ගලික හොඳම දක්ෂතා රැසක් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූවාය.

විදූෂා ලක්ෂානී තම ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කරමින් තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් දක්ෂතම පැනීමේ ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ලබා ගත්තාය.

මීටර් 13.50 ක් හා මීටර් 13.66 ක් ලෙස පළමු පිමි දෙකෙන්ම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඇයට හැකි වූවාය.

මේ අතර, ලක්ෂිකා සුගන්ධී මීටර් 100 කඩුලු මතින් දිවීම හා මීටර් 100 කාන්තා රන් පදක්කම් ගොන්නට ශ්‍රී ලංකා වාර්තාව සමගින් සප්තප්‍රයාම රන් පදක්කම ද එකතු කිරීමට සමත් වූවාය.

ලකුණු 4906 ක් ලබා ගනිමින් ඇය විසින්ම පිහිටුවා තිබූ එම වාර්තාව ලක්ෂිකා විසින් ලකුණු 5128 ක් ලබා ගනිමින් බිඳ හෙලුවාය.

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් කෞෂල්‍යා මදුශානී තත්පර 59 සීමාව පසු කරමින් පුද්ගලික හොඳ දක්ෂතාව දැක්වීමට සමත් වූවාය.

එය එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ දී දැක්වූ දෙවැනි හොඳම කාලය ලෙස තත්පර 58.16 ක් ලෙස ඇය දැක්වූ දක්ෂතාව වාර්තා වේ.

මේ අතර,  ඉසව්වට සහභාගි වූ තවමත් 17 හැවිරිදි වියේ පසුවන අමේෂා හෙට්ටිආරච්චි සිය පුද්ගලික හොඳම කාලය (1:00.57) වාර්තා කරමින් ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාවද සමගින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

එම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්වූ ඩී එන් ලක්මාලී ද වාර්තා කලේ පුද්ගලික හොඳම කාලය වීම විශේෂත්වයක් (59.43).

සමන්ත පුශ්පකුමාර මීටර් 3000 බාදක දිවීමෙන් හා මීටර් 5000 ඉසව් ද්විත්වයෙන් ම රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ වැඩි අවධානයක් දිනාගත් මීටර 800 පිරිමි අවසන් තරගයේදී කරට කර තරගයක් ලබා දෙමින් ඉඳුනිල් හේරත් නැවතත් ජාතික ශූරයා වීමට සමත් විය.

කුපුන් කුෂාන්ත හා රුසිරු චතුරංග තරගය අවසන් වනතෙක් ඔහුට ප්‍රබල අභියෝගයක් ලබාදුන්න ද අත්දැකීම් වලින් උපරිම ප්‍රයෝජන ගත් ඉඳුනිල් තරගය ජයගත්තේ 1:49.01 කාලයක් වාර්තා කරමිනි.

දිනය බොහෝ දෙනාගේ අවධානයට යොමුවූ තවත් ඉසව්වක් වුයේ කාන්තා මීටර් 800 ඉසව්වයි. මීටර් 1500 ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ නිමාලි ලියනාරච්චි නැවත මීටර් 800 ඉසව්වේදීද ශ්‍රී ලංකා වාර්තාවක පිහිටුවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේය.

නිමාලී 2:04.02 ක කාලයක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා වාර්තාව හිමි ගයන්තිකා අබේරන්තට තුන්වෙනි ස්ථානය හිමිකරදෙමින් ඩිල්ශී කුමාරසිංහ (2:04.48) රිදී පදක්කම දිනා ගත්තාය.

කණිෂ්ඨ ක්‍රීඩිකාවක් වූ ඩිල්ෂි මෙම තරගයේ දී දැක්වූ තරගකාරීත්වය කගේත් අවධානයට ලක්විය.

පසුගිය වසරේ උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ රිටි පැනීමේ ක්‍රීඩක ඉෂාර සඳරුවන් නැවතත් සුපුරුදු රිද්මයේ පසුවන බව තහවුරු කරමින් මීටර් 5.01 දක්ෂතාවක් දක්වමින් තරගාවලි වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වට සහභාගී වෙමින් අසංක ඉන්ද්‍රජිත් රත්නසේන රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඔහුගේ සොහොයුරු අසිත රත්නසේන දෙවැනි ස්ථානයට පත්වූ අතර අරවින්ද සමරනායක තුන්වැනි ස්ථානයට පත්විය.

ඇමරිකාවේ සිට පැමිණි හිරුණි විජේරත්න මීටර් 5000 ඉසව්වට සහභාගීවෙමින් දෙවැනි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වූවා ය.

මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් නිලානි රත්නායක, හිරුණිට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් අවසන් වට 3 තෙක් උරෙන් උර ගැටී තරග වැදුන ද අවසන් මොහොතේ අසනීප තත්ත්වයක් මත තරගයෙන් ඉවත් විය

පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු ශූරතා තරගාවලිය ද අහිමි වූ විනෝජ් සුරංජය ද සිල්වා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය

එහි කාන්තා අවසන් තරගයේදී නදීෂා රාමනායකට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ශර්මිලා ජෑන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

2015 වසරේ අගභාගයේ සිට, බොහෝදෙනාගේ අවධානය දිනාගත් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව නැවතත් එම තත්ත්වයටම පත් කිරීමට මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයන්ට හැකි විය.

සුමේධ රණසිංහ හා වරුණ ලක්ෂාන් අතර රන් පදක්කම වෙනුවෙන් කරට කර තරගයක් පැවැති අතර, අවසානයේ සුමේධ ජයවාර්තා කළේය.

කෙසේ වෙතත්‍, බොහෝ කලකට පසුව වරුණ ලක්ෂාන් (79.87) මීටර් 79 සීමාවට ළඟා වූ අතර, සුමේධ (80.76) ද මීටර් 80 සීමාව ඉක්මවා යෑමට සමත්විය.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org