දකුණු ආසියාවට තරු සොයන දිනය හෙටින් ඇරඹේ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

97 වැනි වරට පවත්වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය හෙටින් (16‍) ආරම්භ වී ලබන 18 වැනි දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර තරගාවලිය කෙරෙහි වැඩි දෙනාගේ අවධානය යොමුව ඇත්තේ, දකුණු ආසියානු ක්‍රීඩ උළෙලට සහභාගීවීමට නියමිත මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගන්නා එකම හා අවසාන තරගාවලිය ලෙස මෙය නම් කිරීම හේතුවෙනි.

මෙහිදී කේවල ඉසව්වල පළමු ස්ථානය ලබා ගන්නා ක්‍රීඩිකාවට හෝ ක්‍රීඩිකාවට පමණක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කේවල ඉසව්වලට සහභාගීවීමේ අවස්ථාව හිමිවේ.

කෙසේ වෙතත්, දිගු නිහැඩියාවකින් පසුව දකුණු ආසියාවේ ඔළිම්පික් උළෙල බඳුවූ සාග් තරගාවලියට සුදුසුකම් සැපිරීමට එක් තරගාවලියක් පමණක් වෙන් කිරීමෙන් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් ද සිදුවේ.

විශේෂයෙන් පසුගිය වසරේ දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින අතරම, ආබාදවලට ලක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙම වසරේ තම පළමු තරගාවලිය ලෙස ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට නියමිත වේ.

මෙවර තරගාවලියට විදෙස් ගතව සිටින හිරුණි විජේරත්න මීටර් 10000 හා 5000 ට අමතරව මීටර් 1500 ඉසව්වට ද සහභාගීවීම විශේෂත්වයක් වේ. එසේම ඉතාලියේ පුහුණුවීම්වල යෙදෙන යුපුන් ප්‍රියදර්ශන ද මීටර් 100 හා 200 ඉසව්වලට සහභාගීවීමට නියමිතය.

තරග ඉසව්ගැන විමසීමේ දී, වැඩි අවධානයක් යොමුවන ඉසව් කෙරෙහි අවධානය යොමු කරමු.

මීටර් 100/200 පිරිමි හා කාන්තා

දකුණු ආසියාවේ වේගවත්ම කිරුළට අභියෝගයක් එල්ල කිරීමට මෙරටින් හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය හා යුපුන් ප්‍රියදර්ෂන කරට කර තරගවැදීමට නියමිත වේ. මේ අතර, මීටර් 200 ඉසව්වෙන් ද ඔවුන්ගේ උපරිම දක්ෂතා බලාපොරොත්තු විය හැකිය.

දිගු නිහැඩියාවකින් පසුව රුමේෂිකා රත්නායක ද මෙවර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී, මෙම වසරේ මෙරට දී සහභාගීවන පළමු තරගයට සහභාගීවීමට නියමිතවේ.

ඉහත ක්‍රිඩකයන් තිදෙනා තම සුපුරුදු රිද්මයට පැමිණිය හොත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100, 200 හා මීටර් 100 සහාය ඉසව් ත්‍රිත්වයේ ම රන් පදක්කම් ශ්‍රී ලංකාවට හිමිකරගැනීමේ අවස්ථාව තිබේ.

කෙසේ වෙතත්, ඇයට මීටර් 100 ඉසව්වෙන් අභියෝගයක් එල්ල කිරීමට සාරංගී ද සිල්වා, අමාෂා ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන්, ලක්ෂිකා සුගන්ධී හා ශර්මිලා ජෑන් සැදී පැහැදී සිටියි. කෙසේ වෙතත්, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහාය දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් බලාපොරොත්තුවක් මේ අනුව තබා ගත හැකිය‍

මීටර් 200 ඉසව්වේ දී රුමේෂිකාට එරෙහිව, නදීෂා රාමනායක, ශෙලින්ඩා ජැන්සන්ට අමතරව අමාෂා ද සිල්වා ද අභියෝගයක් එල්ල කරනු ඇත.

මීටර් 400

මෙතෙක් මෙරට මලල ක්‍රීඩා ක්ෂ්‍රේත්‍රයේ කාගේත් අවධානය හොමුවූ පිරිමි මීටර් 400 ඉසව්ව, මෙම වසරේ දී ඇල් මැරුණු ස්වභාවයක් ගනු ඇත.

පසුගිය වසරේ දී උපරිම දක්ෂතා අතර සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම වසරේ තම දක්ෂතා නොදැක්වීම හා, ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක චෝදනාවට ලක්වීම මීට හේතුවේ.

අරුණ දර්ශන ද ආබාදයක් හේතුවෙන් මෙම වසරේ දී උපරිම දක්ෂතා අතරට නොපැමිණි අතර, මෙය ඔහු ආබාධයෙන් පසුව ධාවනයේ යෙදෙන ප්‍රධාන තරගාවලියයි.

ඊට අමතරව පෙර දක්ෂතා අනුව ඔහු අසලින්ම සිටින්නේ ප්‍රියන්ත ලක්මාල් ක්‍රීඩකයා පමණි. අජිත් ප්‍රේමකුමාර හා දිලිප් රුවන් මෙන්ම පළමු 8 දෙනා අතර පසුවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගවැදීම සැක සහිත වේ.

පසුගිය වසරේ උපරිම දක්ෂතා අතර සිටි පසිඳු කොඩිකාර උසස් පෙළ විභාගයට මුහුණදීම හේතුවෙන් තරග නොවදියි.

කාන්තා මීටර් 400 ඉසව්ව අන් කිසි කලෙකට පසුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාසය පළ කළ හැක.

පසුගිය අප්‍රේල් මස අවසන් වූ ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 සහාය දිවීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනාම තරග වැදීම ඊට හේතුවේ.

නදීෂා රාමනායක, උපමාලිකා රත්නකුමාරි, දිල්ෂී කුමාරසිංහ හා නිමාලී ලියනාරච්චි මෙහිදී කරට කර තරගයක් ලබා දෙමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම කෙරෙහි බලාපොරොත්තුවක් ලබා දෙනු ඇත.

මීටර් 800

ශ්‍රී ලංකා වාර්තාව හිමි ඉඳුනිල් හේරත්, නැවත උපරිම දක්ෂතා අතරට පිවිස ඇති බව වාර්තා වන බැවින් මීටර් 800 පිරිමි ඉසව්වේ ද දැඩි තරගයක් බලාපොරොත්තු විය හැක. ඔහුට අමතරව කුපුන් කුෂාන් හා රුසිරු චතුරංගද දකුණු ආසියානු සිහිනය වෙනුවෙන් උපරිම දක්ෂතා දක්වනු ඇත.

එහි කාන්තා ඉසව්ව නැවත වරක් උණුසුම් වනු ඇත. කණිෂ්ඨ ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ ද මේවනවිට මිනිත්තු 2-04.00 වන දක්ෂතා අතර පසුවීම හේතුවෙන්, නිමාලී ලියනාරච්චිට හා ගයන්තිකා අබේරත්නට සිය කිරුළ රැක ගැනීමට මහත් වෙහෙසක් දැරීම් සිදුවනු ඇත.

දකුණු ආසියානු කලාපයේ මීටර් 800 ඉසව්වෙන් මෙම වසරේ දැක්වූ දක්ෂතා අතරින් පෙරමුණේ පසුවන්නේ ගයන්තිකා අබේරත්නයි.

ආසියානු ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගත් ඉන්දියාගේ ගෝමතී ක්‍රීඩිකාව තහනම් උත්තේජක චෝදනාවන්ට ලක් වූවාය.

මේ අතර, පිරිමි හා කාන්තා දුර පැනීමේ හා තුන්පිම්ම ඉසව් කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ.

මෙහි පිරිමි ඉසව් අතරින් ප්‍රසාද් විමලසිරි හා ග්‍රේෂන් ධනංජය පිලිවෙලින් දුර පැනීමේ හා තුන් පිම්මේ තම උපරිමය කරා ලගා වනු ඇතැයි විශ්වාසය තැබිය හැකි අතර, කාන්තා ඉසව්වල සාරංගී ද සිල්වා ගේ දුර පැනීමේ උපරිම දක්ෂතාව බලාපොරාත්තු විය හැකිය.

සෙසු සෑම ඉසව්වක්ම එක සේ උණුසුම් වනු ඇත.

ඔබත් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් වන්න.

සජීවී තොරතුරු ලබා දීමට අප සූදානම්…

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org