තහනම් උත්තේජක මත්ද්‍රව්‍ය මෙන්ම භයානකයි, ඉදිරියේ දී දැඩිව නීතිය ක්‍රියාත්මක වන ලකුණු

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය නව නිවහනකට පිවිසීමේ උත්සවය පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය මෙන්ම ක්‍රීඩාවේ පවතින තහනම් උත්තේජක ව්‍යාප්තිය ද බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

මෙරට මෙන්ම ද ලෝකයේ තහනම් උත්තේජක ක්‍රීඩාවට විශාල හානියක් සිදකරණ බවද එතුමා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා ද එය සනාථ කරමින් ප්‍රකාශ කළේ, ක්‍රීඩාවේ තහනම් උත්තේජක භාවිතය ද මත්ද්‍රව්‍ය හා තරග පාවාදීම් මෙන්ම බරපතල කාරණයක් ලෙස සලකා ඉදිරියේ දී කටයුතු කළ යුතු බවයි.

ඉන් ක්‍රීඩාවට වන බලපෑමට අමතරව, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වන බලපෑම ද අවධානයට යොමුකළ යුතු බව ඒ මහතා සඳහන් කළේය.

ඉදිරියේ දී,  මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පුලුල් ලෙස සිදු කිරීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාව තුළදීම පරීක්ෂණ සිදුකිරීමේ පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මහාචාර්ය වරයා පෙන්වා දුන්නේ,  මේවනවිට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, අතිරේක පෝෂණ ද්‍රව්‍ය සඳහා වැඩි අවධානයක් යොමු කළ ද ස්වභාවික පෝෂ්‍ය පදාර්ථ සම්බන්ධයෙන් අවධානය හීන වී ඇති බවයි.

තහනම් උත්තේජක භාවිත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම, තහනම් ද්‍රව්‍ය ඔවුන් වෙත ළඟා කරන පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය වසරේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරු වී තිබේ.

වර්තමානයේ දී, ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝමයක් නිසි මගපෙන්වීමක් හා අධ්‍යනයකින් තොරව අතිරේක පෝෂණ ද්‍රව්‍ය ලබා ගැනීමට පෙළඹීම මත මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය උදා වී ඇත.

විවිධ පුද්ගලයන් තම පටු අරමුණු සපුරා ගැනීමට හා මුදල් ඉපයීමේ අභිප්‍රායෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දඩයම් කරමින් ක්‍රීඩාවේ ජීව ගුණය මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිත ද අවධානමට ලක් කරමින් සිටියි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org