තහනම් උත්තේජක: බී සාම්පලයෙනුත් වැරදි කරු

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික සංචිතයේ ක්‍රීඩකයෙකු වන කාලිංග කුමාරගේ ගේ ශරීරයේ තහනම් උත්තේජක සංඝඨක අඩංගු වූ බවට තහවුරු වීමෙන් පසුව කළ “බී” සාම්පල පරීක්ෂාවේ ප්‍රථිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව ඔහුගේ සිරුරේ තහනම් උත්තේජක සංඝඨක තිබූ බවට වූ වාර්තාව සනාථව ඇත.

කාලිංගගේ සිරුරේ තහනම් උත්තේජක සංඝඨක අඩංගු වූ බවට තහවුරු වූයේ පසුගිය වසරේ පැවති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කළ තහනම් උත්තේජක පරීක්ෂාවකට අනුවයි.

ඉහත සාම්පල පරීක්ෂාව ඉන්දියාවේ නව දිල්ලියේ පර්යේෂණාගාරයක දී කළ අතර, එම වාර්තාව පිළිගත නොහැකි බව පවසමින් කාලිංග  “බී” සාම්පල පරීක්ෂාවට යොමු වීමට තීරණය කළේය.

“ක්‍රීඩකයෙකුගේ ශරීරයේ අඩංගු තහනම් සංඝඨක සම්බන්ධයෙන් පූර්ණ වගකීම ක්‍රීඩකයා භාරගත යුතු වන අතර, ඊට අනුබල දුන් පුද්ගලයන් ද නීතිය හමුවට කැඳ විය හැක.”


“​බී” ​සාම්පලයෙන් ලැබුණු තීන්දුව ක්‍රියාත්මක වන්නේ කවරාකාරයෙන් ද?


ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ විනය කමිටුව විසින් ඉදිරියේ දී අදාළ ක්‍රීඩකයාගෙන් නැවත කරුණු විමසනු ලබන අතර එහිදී, තුන්වැනි පාර්ශවයේ කරුණු දන්නා පිරිසට සාක්ෂි ලබා දීමේ අවස්ථාව හිමිවේ.

එසේම, යම් කිසි හේතුවකින් අදාළ ක්‍රීඩකයාට කිසිවෙකු විසින් හිතා මතා අදාළ තහනම් ද්‍රව්‍ය ලබා දී තිබේ නම් හෝ, අනුබල දීමක් සිදුකර ඇත්නම් නීත්‍යානුකූලව ඔහුට හෝ ඇයට එරෙහිව ක්‍රියා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියට තිබේ.

අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා සිදුවන මේ ක්‍රියාදාමයෙන් වරදකරුවන පුද්ගලයාට උපරිමය වසර 2 ක සිර දඬුවමක් මෙන්ම දඩයකට යටත් වීමට සිදුවීමේ අවස්ථාව පවතියි.

විනය කමිටුව විසින් ක්‍රීඩකයාවෙත ලබා දෙන දඬුවම තීරණය කරනු ඇත. එම තීරණයට ද, ක්‍රීඩකයා එකඟ නොවන්නේ නම් අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය. එම අභියාචනාවද ප්‍රතික්ෂේප වුව හොත් ක්‍රීඩා බේරුම් කරන අධිකරණය ( Court of Arbitration for Sport) වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ.

කෙසේ වෙතත්, ඉහත සඳහන් ක්‍රියාවලියෙන් නිවැරදි කරු වන තෙක්, කාලිංග කුමාරගේට ඉහත පරීක්ෂණයට සාම්පල ලබා ගත් දින සිට බල පැවැත්වෙන පරිධි අවමය වූ වසර 4 ක දඬුවම මේවනවිට ක්‍රියාත්මක වේ.

ඔහුට ඒ අනුව ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමකට සහභාගී වීමේ අවස්ථාව නොලැබේ.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය විසින් සිදු කරන විනය පරීක්ෂණයෙන් පසුව අවමය වූ වසර 4 ට අමතරව ලබා ගෙන ඇති තහනම් උත්තේජක ද්‍රව්‍ය අනුව දඬුවම් නියම කිරීමේ අවස්ථාව තිබේ.

පසුගිය වසරේ දී කාලිංග කුමාරගේට අමතරව, වෙනත් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු තහනම් උත්තේජක ලබා ගත් බවට සනාථ වී තිබේ.

2017 වසරේ දී මලල ක්‍රීඩකයෙකු ඇතුළුව ක්‍රීඩකයන් පස් දෙනෙකු තහනම් උත්තේජක දැලට හසුවිය.

හතු පිපෙන්නා සේ, අධිපෝෂණ ආහාර ද්‍රව්‍ය හා අමතර පෝෂ්‍ය පදාර්ථ සහිත කෘතීම ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැලැක්වීමට හෝ නියාමනය නොකළහොත් ඒ හරහා පැමිණෙන මෙවන් විනාශ කාරී තහනම් ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර නොවනු ඇත.

එසේම, ක්‍රීඩාංගණ තුළට පිටස්තර ජාවාරම්කරුවන්ට ඇතුළු වීමට ඉඩ කඩ සැලැස්වීමෙන් ද ඉහත අනතුරේ කෙළවරක් දැකිය නොහැකි වනු ඇත.

ඩෝපිං ගැන ඔබ දැන ගත යුතුම කරුණු

තහනම් ඩෝපිං උගුලට හසුවෙන අපේ ළමයි

තහනම් උත්තේජක සම්බන්ධයෙන් පුහුණුකරුවන් සෘජුව වගකිව යුතුයි – දමයන්ති දර්ශා

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org