බළධරයිනි මලල ක්‍රීඩකයන්ට දුන් පොරොන්දු මල්ල දිග හරිමුද ? 

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට නව පිටවක් එක් කළ වසරක් වන මෙම වසරේ දී යොවුන්, කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සිය පුද්ගලික හොඳම දක්ෂතා වාර්තා කරමින් ආසියාව ජය ගැනීමට සමත් විය.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3 ක් ඇතුළුව පදක්කම් 9 ක් දිනා ගනිමින් ආසියාවේ පස්වැනි ස්ථානයට පත් වීම මෙන්ම, ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් උරෙන් උර ගැටී දක්ෂතා වර්ධනය කරගැනීමට ද කණිෂ්ඨ ක්‍රීඩකයන්ට හැකි විය.

ඔවුන්ව සෑම අවස්තාවකම හරසරින් පිළිගෙන දහසින් බැඳි පියලි දෙන බවට පොරොන්දු වුව ද, මේවනවිට දැනගැනීමට ඇත්තේ, බොහෝ දෑ පොරොන්දු වලට පමණක් සීමා වී ඇති බවයි.
කණිෂ්ඨ ක්‍රීඩකයන්ට මසකට රුපියල් 75,000 බැගින් වූ පෝෂණ දීමනාවක් වසර 4 ක් යන තුරු ලබා දීමට අනුග්‍රාහකයන් සොයාගත් බවට පුරසාරම් දෙඩවුව ද මේවනවිට එක මසක දී පමණක් එම දීමනාව ලබා දී, නෑසූ කන්ව සිටින බව වාර්තාවේ.

අධ්‍යාපන අමාත්‍යංශය ද මෙම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික පෝෂණ දීමනාවක් ලබා දීමට එකඟ වුව ද මාස හතරක් යන තුරු ඔවුන්ට ලැබුණු දීමනාවක් ගැන වාර්තා වන්නේ නැත.

අනාගතයේ ක්‍රීඩාව භාරගැනීමට සිටින මේ දරු දැරියන්ව නිසි පුහුණුවීමක් හා රක්ෂණ ක්‍රමයක් හරහා අනාගතය සුරක්ෂිත කරමින් රැක බලා ගැනීම රටේ අවශ්‍යතාවක් ලෙස සලකා තීරණ ගැනීම පසෙකලා, බොරු පොරොන්දු පමණක් ලබා දෙමින් මුලාවට පත් කිරීම අවසන් වී නොමැත.

ලබන වසරේ දී ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන වටපිටාවක මේ දක්වා මලල ක්‍රීඩා ජාතික සංචිතයට අවශ්‍ය පහසුකම් සැලසීම තබා, සංචිතයට අනුමැතිය ලබා දී නැති බව ද වාර්තා වේ.

මලල ක්‍රීඩා සංචිතයේ, පදක්කම් බලාපොරොත්තු ලෙස සැලකෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන්, ක්‍රීඩා අරමුදලින් පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූයේ, ක්‍රීඩා නේවාසිකාගාරයේ රැඳී සිටිමින් පුහුණුවීම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව ද සලසමිනි.

නමුත් පසුගිය අප්‍රේල් මස සිට එම දීමනාව ද, ලබා නොදුන් බව වාර්තා විය.

පසුගිය වසරේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දි පදක්කම් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පමණක් පෝෂණ දීමනාව අඛණ්ඩව ලබා දුන්න ද එය අගෝස්තු මස ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව අත් හිටුවා තිබේ.
ක්‍රීඩා නේවාසිකාගාරය ද පරිහරණය කිරීමේ අවස්ථාව අකුළා ඇති ක්‍රීඩා අමත්‍යංශ බලධාරීන්, නේවාසිකාගාරයේ ලැගුම්ගෙන සිටින අමාත්‍යංශ නිළධාරීන්ට පමණක් එහි රැඳී සිටීමට අවසර දී ඇත.

පොරොන්දු මල්ලකට සීමා නොවී, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සද්භාවයෙන් උපකාර කරමින්, නිසි ක්‍රමවේදයකට අනුව පහසුකම් සැලසීමේ අවශ්‍යතාව දැන්වත් තේරුම් ගත යුතුය.

කැළේ පිපෙන මල්, ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සැලසුමක් නොමැති විට ඔවුන් පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ක්‍රීඩාවට සමුදී අර්ථික ගැටලු හා පවුලේ අවශ්‍යතා වෙනුවෙන් සිය කාලය කැප කිරීමට පෙළඹේ.

ක්‍රීඩා බළධාරීන්, අතීතයේ සිට සිදු කරනු ලැබූ, පදක්කමට මුදල් ගෙවීමේ න්‍යාය වෙනස් කොට, දක්ෂතා වර්ධනය කරගත හැකි ආකාරයෙන් සැලසුම් සහගතව ක්‍රීඩාව නැංවීමට කටයුතු කළ යුතුවේ.

හලාවත, ධීවර ගම්මානයකින් ක්‍රීඩාවට දායාද වූ 17 හැවිරිදි පාරමී වසන්ති මාරිස්ටෙලා, පුහුණුකරු ජනිත් ජයසිංහ මහතාගේ හා ඇයගේ කැපවීම මෙන්ම දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් ලෝක මට්ටමට පිවිසියේ මලල ක්‍රීඩාව කෙරෙහි කාගේත් අවධානය යොමුකරගනිමිනි.

ත්‍රිකුණාමලය සේරුවිලෙන් ක්‍රීඩාවට දායාද වූ අරුණ දර්ශන, ආසියාව පහසුවෙන් ජයගත්තේ, පුහුණුකරුගේ හා දෙමාපියන්ගේ කැපවීමේ හා මග පෙන්වීම හේතුවෙනි.

“ජයග්‍රහණයට පියවරු බොහෝය, පරාජය අවජාතකයි” යන කියමන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට කදිමට ගැලපෙන බව පසුගිය කාලය පුරාවට අත්විදි පොරොන්දු සර‍ණ සොයාගිය බළධාරීන්ගේ ක්‍රියා කලාපය අනුව පසක්වේ.

මේ යොවුන් ඔලිම්පික් ජයග්‍රහණය ද කාලයේ වැලි තලාවෙන් වැසී යනු නොඅනුමානය. නෑසූ කන් ඇතිව නොඉඳ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පොරොන්දුවෙන් එහා ගිය විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ කාලය එළඹ තිබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org