මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට නව ක්‍රමයක් – සරල පැහැදිලි කිරීම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන නව ක්‍රමවේදයක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තරගාවලිය ඇතුළුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය මගින් මෙහෙයවනු ලබන තරගාවලි හා ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලි සඳහා මින් ඉදිරියට සුදුසුකම් ලබන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි.

මින් ඉහත, අදාළ කාලය තුළ දැක්වූ ඉහළම දක්ෂතාව ඉහත සඳහන් කළ තරගාවලි සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පරිසාධන මට්ටම ලෙස සැලකුන ද මින් ඉදිරියට එලෙස එක් දක්ෂතාවක් පමණක් දක්වා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි නොවනු ඇත‍

2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රම වේදය

මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන පරිසාධන මට්ටම පසු කිරීමට තරග ඇවිදීම, මීටර් 10000, සහාය දිවීමේ හා මැරතන් තරග සඳහා 2018 මාර්තු 7 වැනි දින සිට 2019 සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා කාලයක් හිමිව ඇත.

සෙසු ක්‍රීඩා ඉසව් සඳහා වන පරිසාධන මට්ටම පසු කිරීමට මෙම වසරේ සැප්තැම්බර් මස 7 වැනි දා සිට 2019 සැප්තැම්බර් 7 වැනිදා දක්වා වසරක කාලයක් තිබේ.

තෝරා ගන්නා ක්‍රියා පිළිවෙල

කේවල ඉසව් සඳහා ඉදිරිපත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ පසුවන්නන් හට අවස්ථාව හිමිවනු ඇත. ඊට අමතරව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් අනුමත කරන ක්‍රමවේදයකට අනුව සලාක ක්‍රමයට ද (WILD CARD) ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් තෝරාගනු ඇත.

ලෝක ශ්‍රේණිගත කිරීම් කිරීමේ පටිපාටිය

ශ්‍රේණිගත කිරීම් පිළිවෙත මේ දක්වා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, එහි රාමුව පිළීබඳව සරල විවරණයක් මෙලෙස ඔබ වෙනුවෙන් සඳහන් කරයි.

ඉහත සඳහන් කළ තෝරා ගන්නා කාලය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා සියල්ල සඳහා ලකුණු දීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලකුණු දීමේ පිළීවෙත ( IAAF Points) අනුව මෙම ලකුණු දීම සිදුකරයි. ඊට අමතරව බෝනස් ලෙස ඒ ඒ තරගාවලි අනුව මෙන්ම ලබා ගන්නා පදක්කම් අනුව එම ලකුණු සංඛ්‍යාව ඉහළ යනු ඇත.

එසේ සටහන් කරන ලද ලකුණු සංඛ්‍යාව අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් වර්ගීකරණය කරනු ලබන අතර, එම දක්ෂතා අතර ඉහළම දක්ෂතා පහේ සාමාන්‍ය අගය එම ක්‍රීඩකයාගේ උපරිම දක්ෂතාව ලෙස හඳනා ගනු ඇත.

සරල උදාහරණයක් ලෙස හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත් අවස්ථාව සැලකිල්ලට ගැනීම

2015 මැයි 1 වැනි දා සිට 2016 ජූලි 3 වැනි දා දක්වා කාලය තුළ මීටර් 83 ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම සැපිරීමට අවස්ථාව තිබිණ.

සුමේධ 2015 දෙසැම්බර් 03 වැනිදා පැවති තේරීම් තරගාවලියක දී මීටර් 83.03 ක දක්ෂතාවක් දක්වමින් සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

ඉහත සඳහන් කල පරිසාධන මට්ටම සඳහා වූ කාලය තුළ සුමේධ රණසිංහ සහභාගීවී ඇත්තේ, ප්‍රධාන පෙළේ තරගාවලි පහකට පමණි ( ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ වාර්තාවලට අනුව)

Date Competition Country Round Place Performance IAAF pts
08-Jul-15 Gwangju Universiade KOR Q1 10 68.90 944
26-Jul-15 Diyagama Sri Lankan Ch. SRI F 1 76.51 1052
03-Dec-15 Diyagama SRI F 1 83.04 1145
18-Dec-15 Diyagama National Sports Festival SRI F 1 75.91 1031
10-Feb-16 Guwahati South Asian Games IND F 5 72.66 997
5169.00
1033.80

එම දක්ෂතාවලට අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලකුණු දීමේ පිළීවෙතින් සුමේධට හිමිවන්නේ ලකුණු 1033.80 කි (බෝනස් ලකුණු නොමැතිව) . පරිසාධන මට්ටමට අනුව ඔහු ලකුණු 1144 ක් ලබා ගත යුතුවිය.

ඒ අනුව සුමේධ රණසිංහට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවේ.

කෙසේ වෙතත්, ශ්‍රේණිගත කිරීම් අනුව සුමේධ රණසිංහ පළමු ක්‍රීඩකයන් 32 අතර ශ්‍රේණිගත කිරීම් හී පසුවූයේ නම් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පැවතින.

බෝනස් ලකුණු ලැබෙන පිළිවෙල

(නිළ ලකුණු දීමේ පිළිවෙල මෙතැනින් )

ජාතික ශූරතා හා විවෘත තරගාවලිවල රන් පදක්කම දිනා ගැනීම වෙනුවෙන් = ලකුණු 15 ක්.

කලාපීය ශූරතා තරගාවලි රන් පදක්කම (ආසියානු ශූරතාවලිය) = ලකුණු 170 ක්

කලාපීය ක්‍රීඩා උළෙල (ආසියානු ක්‍රීඩා උළෙල) හා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වැනි තරගාවලියක රන් පදක්කම සඳහා = ලකුණු 140 ක්

ඒ අනුව බලන කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වීමේ අවශ්‍යතාවක් මතුවන අතර, එහිදී ද ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් උපරිම දක්ෂතාව සාමාන්‍ය අගයක පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය වේ.

මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකිරීමේ පටිපාටිය සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සවිස්තරාත්මකව නික්ත්ව නැත.

මෙම ලිපිය, ඉහත තේරීම් ක්‍රමය සම්බන්ධයෙන් සරල අදහසක් ලබා ගැනීම සඳහා පල කරනු ලබන අතර, සුමේධ සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීම ද ඉහත ක්‍රියා පිලිවෙත සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීම සඳහා පමණක් පළ කළ බව කරුණාවෙන් සලකන්න.

නව ක්‍රමය අනුව ප්‍රධාන පෙළේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථා හිමිවද්දී, බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව අහිමිවීමේ අවධානමක් ද මතු කළ හැකි බව සඳහන් කළ යුතුය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org