ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩාවෙන් 14 ක් – 100 සහාය කණ්ඩායම හැලෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමට පියවර ගෙන තිබේ.

මින් ඉහත, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු නම් කළ අතර, ඉන් 12 දෙනෙකුට ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවණු ඇත.

ජූනි 30 වැනි දිනට පෙර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය ඉදිරිපත් කළ යුතු වූ අතර, පසුගිය සති අන්තයේ පැවැති ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ශරීර යෝග්‍යතාව මැන බැලීමේ හා දක්ෂතා සම්බන්ධයෙන් පරීක්ෂණ තරගාවලියක් ලෙස සැලකීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබිණ.

තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේදී, සභාපතිවරයා පවසා සිටියේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉලක්ක ලබා දීමෙන් දක්ෂතා වර්ධනය කරගනැ ඇති බවට විශ්වාසය තබන බවයි.

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් දක්ෂතා අතර පසුවීම කැපි පෙනින.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් අට දෙනෙකු හා ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඇතුළත් වේ.

මෙවර පදක්කම් බලාපොරොත්තුවක් ලෙස සැලකෙන මීටර් 400 සහාය දිවීමේ පිරිමි කණ්ඩායමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර හා දිලිප් රුවන් ඇතුළත් වේ.

පසුගිය වසරේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දි රිදී පදක්කම දිනාගත් කණ්ඩායම නියෝජනය කළ දිලිප් රුවන්, කාලිංග කුමාරගේ හා අජිත් ප්‍රේමකුමාර කණ්ඩායමට ඇතුළත් වීම මෙන්ම, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දි ආසියානු කණිෂ්ඨ වාර්තාව සමගින් තත්පර 45.79 කින් තරගය අවසන් කළ ඇරුණ දර්ශන ද ඇතුළත් ව සිටීමෙන් මෙවර තරගාවලියේ දී ඉහළ දක්ෂතාවක් දැක්වීමේ අවස්ථාව තිබේ.

පසුගිය ජාතික ශූරතා තරගාවලියේ දී පසිඳු කොඩිකාරද තත්පර 46.65 ක පුද්ගලික හොඳම කාලයක් වාර්තා කිරීමට සමත්විය.

මේ අතර, දශක දෙකක් වැනි කාලයකට පෙර වාර්තා වූ මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව තමා සතුකරගත් (1:47.14) ඉඳුනිල් හේරත් ද නම් කළ කණ්ඩායමට ඇතුළත් වේ.

ඊට අමතරව උස පැනීමේ ජාතික ශූරයා බවට පත්වූ, උෂාන් තිවංකට ද අවස්ථාව ලබා දී තිබේ. උෂාන් පසුගිය දා නිමාවට පත්වූ තේරීම් තරගාවලියේ දී සිය උපරිම දක්ෂතාව ලෙස මීටර් 2.24 ක දක්ෂතාවක් දැක්වූ අතර, ජාතික ශූරතාවලියේ දී මීටර් 2.18 ක දක්ෂතාවක් දක්වා ජයගැනීමට සමත්විය.

කණ්ඩායමට ඇතුළත් වූ සෙසු ක්‍රීඩකයා වන්නේ, දුර පැනීමේ ජාතික ශූරයා වූ ප්‍රසාද් විමලසිරියි. ඔහු ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් 8.14 ජය ගැනීමට සමත්විය. ඔහු මීට පෙර මීටර් 8.10 ක දක්ෂතාවක් දක්වා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා සුදුසුකම් සැපිරුවේය.

හය දෙනෙකුගෙන් සමන්විත කාන්තා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස නිමාලි ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න මීටර් 800 ඉසව්වට නම් කර තිබේ.

පසුගිය වසරේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම හා රිදී පදක්කම දිනා ගැනීමට ගයන්තිකා හා නිමාලී පිලිවෙලින් සමත්විය.

මේ අතර, මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේදී විශිෂ්ඨ දක්ෂතාවක් ලෙස මිනිත්තු 9:46.76 කින් තරගය අවසන් කර නැවතත් ශ්‍රී ලංකා වාර්තාව තත්පර 8 කින් අලුත් කළ නිලානී රත්නායක ට ද මෙවර ක්‍රීඩා උළෙලේ දී විශිෂ්ඨ ප්‍රථිඵලයක් හිමිකරගැනීමේ අවස්ථාව උදාවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

ඇයගේ මෙම දක්ෂතා අනුව මෙම වසරේ දක්වූ  ආසියාවේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ඇය ඉදිරියෙන් පසුවන්නේ කෙන්යාවෙන් අනායනය කර බහාරේන් නියෝජනය කරන Winfred Mutile YAVI ක්‍රීඩකාව හා ඉන්දියාවේ සුදා සිං.

දැනට ඇමරිකාවේ වෙසෙන හිරුණි විජේරත්න මීටර් 10000 ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍ය උදාකරගෙන තිබේ.

ඇය ද මෙම වසරේ දී මීටර් 10000 කාන්තා ඉසව්වේ ශී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට සමත් වූවාය.

මීටර් 200 ඉසව්වෙන් ආසියානු ශූරතාවේ දී රිදී පදක්කම දිනා ගත් රුමේෂිකා රත්නායක ද බලාපොරොත්තු තබාගත හැකි මට්ටමෙන් ආසියානු ක්‍රීඩා උළෙල ට සහභාගීවේ.

ඇය මෙම වසරේ දී හොඳම කාලය ලෙන තත්පර 23.43 ක කාලයක් වාර්තා කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී සමත්වූවාය. ඇයගේ හොඳම කාලය හා සසඳා බලන විට ඇයට අවසන් ක්‍රීඩකාවන් හය අතරට පැමැණීමේ අවස්ථාවක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරන සෙසු ක්‍රීඩකාව වන්නේ මීටර් 400 ඉසව්වෙන් මෑතක දී සිය උපරිම දක්ෂතාව දැක්වූ උපමාලිකා රත්න කුමාරියි.

තත්පර 53.31 ක දක්ෂතාවක් දැක්වූ ඇය මීටර් 400 ඉසව්වට හා මිශ්‍ර මීටර් 400 සහාය ඉසව්වට සහභාගීවනු ඇත.

මේ අතර, ජාතික ශුරතාවලියේ දී මීටර් 8.00 සීමාව තෙවරක් වාර්තා කළ අමිල ජයසිරි වද කණ්ඩායමට ඇතුළත් කරන මෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඉල්ලීමක් කර තිබේ.

මීට පෙර සංවිධායකයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දීර්ඝ ලේඛණයේ ඔහුගේ නමද සඳහන් කිරීම හේතුවෙන්, මෙලෙස ඉල්ලීමක් සිදුකර තිබෙන බවට වාර්තා වේ.

එසේම, ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කාන්තා ඉසව්වේ දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නදීෂා රාමනායක (53.27) හා නිර්මලී මධුෂිකා (53.54) ද කණ්ඩායමට නව සාමාජිකයන් ලෙස එක් කරන මෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

එසේ වූවානම් ශ්‍රී ලංකාවට මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට ද සහභාගීවීමේ අවස්ථාව තිබේ.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුව විසින් මීට යහපත් ප්‍රතිචාරයක් දක්වයි දැයි සැක සහිතවේ.

මේ අතර, මීටර් 100 සහාය දිවීමේ පිරිමි කණ්ඩායම ඉවත් කිරීමට පියවර ගැනීම කාගේත් අවධානයට ලක්ව තිබේ.

ඒ ඔවුන් විසින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වීම හේතුවෙනි.

කෙසේ වෙතත්, ජාතික ශූරතා තරගාවලියේ දී කෙටිදුර ධාවන ක්‍රීඩකයන්ගේ උපරිම දක්ෂතා දැක ගැනීමට නොහැකි වීම හා මුලින් නම් කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ශරීර යොග්‍යතාව සැක සහිත තත්වයක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තාවේ.

මෑතකදී ඩෙංගු රෝගයට ගොදුරුවූ විනෝජ් සුරංජය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්ව නොමැති වීම හා ඉතාලියේ සිටින යුපුන් ප්‍රියදර්ශන ද ආබාදයකට ලක්ව සිටීම සහාය කණ්ඩායම ඉවත් කිරීමට ප්‍රභල සාධක ලෙස දැක්විය හැක.

හිමාෂ ඒෂාන් පමණක් ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ලබා දුන් පරිසාධන මට්ටම පසු කිරීමට ජාතික ශූරතාවලියේදී සමත්වුව ද එම කාලය ද ඔහුගේ සාමාන්‍ය හොඳම කාලයක් ලෙස දැක්විය නොහැකි තත්ත්වයක පැවතින.

තත්පර 10.43 ක කාලයක් ඔහු වාර්තා කළ ද සෙසු ක්‍රීඩකයන් වූ ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රොෆ් හා එස් එල් විජේරත්නට මූලික ඉසව්වේ, අවසන් පූර්ව වටයේ හා අවසන් තරගයේ හො තත්පර 10.50 ක් ලෙස දැක්වූ පරිසාධන මට්ටමට ළඟා වීමට නොහැකි විය.

මීට පෙර නම් කළ කණ්ඩායමෙන් අවස්ථාව අහිමි වූ සෙසු ක්‍රීඩකයන් වන්නේ, දුර පැනීමේ ක්‍රීඩක ධනුෂ්ක පියරත්න හා මීටර් 1500 ක්‍රීඩක හේමන්ත කුමාරයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org