අකුරම්බඩ අරුණ, මලල ක්‍රීඩාවට අරුණලු කැඳවයි
|ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දින දෙකේ දී, වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩකයෙකු වීමට අරුණ දර්ශන සමත්විය.
මහනුවර අකුරම්බඩ වීර කැප්පැටිපොළ විද්‍යාලය නියෝජනය කරන ඔහු,වයස අවුරුදු 20 න් පහළ මිටර් 200 බාලක ඉසව්වෙන් තෙවරක් තරගාවලි වාර්තාව අලුත් කිරිමට සමත්විය.
මූලික වටයේදී තත්පර 21.64 ක දක්ෂතාවක් දැක්වූ දර්ශන, අද පැවතු අවසන් පූර්ව වටයේ තරගයේ දී තත්පර 21.45 ක දක්ෂතාවක් දක්වමින් නැවත තරගාවලි වාර්තාවක් අලුත් කළේය.
ඉන් නොනැවතුනු අරුණ අවසන් තරගයේ දී නැවත තත්පර 21.38 කින් තරගය අවසන් කළේ තරගාවලි වාර්තාව තවර්ත තත්පර දශම 07 කින් අලුත් කරමිනි. ඒ අනුව ඔහු ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට තම ස්ථානය ද තහවුරු කරගත්තේ, ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයෙන් ඉදිරිපත් කළ තත්පර 21.40 ක් වූ පරිසාධන මට්ටම අභිබවා යමිනි.
මීටර් 400 කඩුලු මතින් දිවීමේ හා මීටර් 400 ඉසව්වේ දක්ෂයෙකු වූ අරුණ පසුගිය වසරේ මීටර් 200 ඉසව්වට ද වැඩි අවධානයක් යොමුකිරිමෙන් පසුව දැක්වූ ඉහළම දක්ෂතාව ද මෙයයි.
තත්පර 47.19 ක දක්ෂතාවක් මීටර් 400 ඉසව්වෙන් හොඳම දක්ෂතාව ලෙස දැක්වූ දර්ශන මෙම වසරේ දී තත්පර 47 ට අඩු කාලයක් මීටර් 400 ඉසව්වෙන් දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.