අමුතු තීරණ සමගින් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වෙයි – මාරිස්ටෙලා හා වලල ශූරයන් හා ශූරියන්…

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

පාසල් ක්‍රීඩාවේ ඔලිම්පික් උළෙල බඳු සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළේලේ මලල ක්‍රීඩා තරගාවලිය අද දියගම ක්‍රීඩාංගණයේදී ආවසන් වූයේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට බාලක ශූරතාව හා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට බාලිකා ශූරතාව ලබා දෙමිනි.

මෙවර තරගාවලිය කෘතීම ධාවන පථයක පැවැත්වීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉහළ දක්ෂතා දැක්වීමක් දැක ගත හැකි වුවද, තරගාවලිය පැවති දින පහේදීම වර්ෂාවෙන් බාධා එල්ලවීමෙන් ඇතැම් ඉසව්වල බලාපොරොත්තුවූ දක්ෂතා දැක්වීමක් දැකගත නොහැකි විය.

කෙසේ වෙතත්, සමස්ථයක් ලෙස ගත් කළ අනාගත මලල ක්‍රීඩාව භාරගැනීමට දක්ෂයන් පිරිසක් සූදානමින් සිටින බවට සාධනීය ලක්ෂණ මෙහිදී පිළිබිඹු විය.

මෙවර ක්‍රීඩා උළෙලේ වයස් කාණ්ඩ වෙනස් කර පැවැත්වීම සම්බන්ධයෙන් වැඩිදෙනාගේ අවධානය යොමුවිය. ජාත්‍යන්තර තලයට පාසල් ක්‍රීඩාව ගෙන ඒමේ අරමුණැතිව මෙය සිදුකළ බවට බළධාරීන් පැවසුවද ඉන් ඉහත සඳහන් කළ අවශ්‍යතාව පිරිමැසේ දැයි සැක සහිතවේ.

උදාහරණයක් ලෙස ගත් කළ, මින් ඉහත 32 වරක් පවත්වා ඇති තරගාවලි ඉතිහාසයේ පැවැති වාර්තා සියල්ල මෙම වසරෙන් පසුව ශූණ්‍ය වනු ඇත. ඒ අනුව ගත් කළ සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ගාම්භීර බව මින් ඉදිරියට දැකගත නොහැකි වනු ඇත. ජාත්‍යන්තරය හා යාවත්කාලීන කිරීම ලෙස මෙවර තරගාවලියේදී සිදුකළේ 12, 14, 16, 18, හා 20 පහළ ලෙස වයස් කාණ්ඩ වෙන් කිරීමයි. එසේ ගත් කළ 20 සපිරුණු ක්‍රීඩකයෙකුට ජාතික තලයට පෙර ක්‍රීඩා කිරීමට තිබූ අවසන් පාසල් තරගාවලිය අහිමි කර ඇත.

දීර්ඝ කළක් බිඳ නොවැටුණු වාර්තා

මෙවර තරගාවලිය දින 5ක් පුරා පැවැත්වීමට සුපුරුදු ලෙස සංවිධායක මණ්ඩලය පියවරගෙන තිබිණ, මෙලෙස දීර්ඝ කාලයක් තුළ තරග පැවැත්වීමට හේතුවන්නේ, වයස් කාණ්ඩ රැසක තරග පැවැත්වීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් කිහිපයකට සහභාගීවීම හේතුවෙන් ඇතිවන විඩාව ද සැලකිල්ලට ගනිමිනි.

මෙවන් තරගාවලියක දී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ විට ඒකල ඉසව් තුනකට හා සහාය දිවීමේ ඉසව්වකට හෝ ඉසව් දෙකකට සහභාගීවිම දැකගත හැක.

නමුත් මෙවර තරගාවලියේ පළමු දින දෙකේ දී, කෙටි දුර ඉසව් සියල්ල පවත්වා හමාර කිරීමට පියවරගෙන තිබුණේ ඉතිරි දින තුන සඳහා නරඹන්නන්ගේ අවධානය යොමුනොවන ආකාරයෙනි.

සාමාන්‍යයෙන් ඕනෑම මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100, 200 හා 400 ඉසව් සඳහා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබේ. එසේම කෙටිදුර ඉසව් වල සුපිරි දක්ෂතා දක්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහත සඳහන් කළ කෙටි දුර ධාවන ඉසව් තුනටම සහභාගීවේ. දින පහක තරගාවලියක දින දෙකක් තුළ සියලු ඉසව් පැවැත්වූයේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සිතා දැයි සැක මතුවේ. එසේ නැතහොත් තෝරාගත් පාසලක් හෝ කිහිපයකට සමස්ථා ශූරතාව දිනා ගැනීමට හැකිවන ලෙස කාල සටහන සැකසුවාදැයි සැක මතුවේ.

එම ඉසව් ත්‍රිත්වයම ජයගැනීමට සමත්වූයේ 16 න් පහළ වයස් කාණ්ඩයෙන් තරග කළ හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ මිලින්ද පෙරේරා ක්‍රීඩකයා පමණි.

අද පැවති සමාප්ති උළෙලේ දී අධ්‍යාපන අමාත්‍යවරයා  මාධ්‍ය මගින් විවේචන එල්ල වූ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වනු දැකිය හැකි විය. ඔහු එහිදී ප්‍රකාශ කළේ මෙවර ක්‍රීඩා උළෙලේ ආහාර සැපයීම යුද හමුදාව වෙත භාර කළේ විධිමත් අන්දමින් එය සිදු කළ යුතු වීම හේතුවෙන් බවයි. නමුත් මලල ක්‍රීඩා තරගාවලියේදී පමණක් දින පහේම එකම දිවා ආහාර වේල ලබා දීමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීමේ ප්‍රතිපත්තිය මොනවට පැහැදිලි විය.

එසේම සමස්ථ ශූරතාවන් ලබා දීමේදී දක්ෂතම මිශ්‍ර පාසලට ද ශූරතා කුසලානයක් ලබා දීමද හාස්‍ය ජනකය.

බාලක හා බාලිකා වශයෙන් වෙන්කර පවත්වන තරගාවලියක මිශ්‍ර ශූරතාවක් ලබා දෙන්නේ, එක් පුද්ගලයෙකු පිණවීමට දැයි විචාරකයන් අතර සැක මතුව තිබේ.

එසේම දක්ෂතම ක්‍රීඩකයා තෝරාගැනීමේ දී පිලිපදින ලද නිර්ණායක ජාත්‍යන්තර නීති රීති හා ගැලපෙනවා ද නැද්ද යන්න ද සැක සහිතය.

දක්ෂයන් දෙදෙනෙකුගේ සිත් රිදවීම අරමුණ නොවුණ ද, මින් මතුවට කඩුලු මතින් දිවීම, හෙල්ල විසිකිරීම, යගුලිය හා කවපෙත්ත දැමීම වැනි ඉසව්වලින් දක්ෂතම ක්‍රීඩකයෙකු පාසල් මලල ක්‍රීඩාවෙන් බිහි නොවනු ඇත. වයස් කාණ්ඩ සඳහා යොදාගන්නා මලල ක්‍රීඩා උපකරණවලට ප්‍රමිතියක් දක්වා ඇත්තේ ඒ ඒ වයස් කාණ්ඩයන් හී ක්‍රීඩකයන්ට සුදුසු ප්‍රමිතිය එය වීම හේතුවෙන් විනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම හේතුවෙන් නොවන බව බළධාරීන් උගත යුතු වේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් නිර්ණායක ඉදිරිපත් කරන්නේ ක්‍රීඩාවේ යහපත හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන වුවද, මෙරට දී තීන්දු තීරණ ගන්නේ පුද්ගලයන්ගේ හිතු මතේට වීම අභාග්‍ය සම්පන්නය. එසේ නැතහොත්, උපදේශකයෙකු පරිපාලන නිළධාරියෙකුට වඩා ඉහළින් තීන්දු තීරණ ගන්නේ කෙසේ දැයි තතු දත්තෝ විමසයි.

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org