මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ගුවන් හමුදා පුහුණුව අනිවාර්ය කරයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට , නිත්‍ය සේවයට අදාල හමුදා පුහුණුව අනිවාර්ය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එළඹෙන විවේක සමය තුළ සති 10 ක පුහුණුවක් සඳහා, ත්‍රිකුණාමලය චයිනාබේ ගුවන් කඳවුර වෙත ඔවුන් යොමුකරනු ඇත.

මේ මස 21 වැනි දායින් ආරම්භවන ජාතික මහා ක්‍රීඩා උළෙලෙන් පසුව ගුවන් හමුදාව නියෝජනය කරන මලල ක්‍රීඩකයන් ඉහත පුහුණුවට සහභාගීවිය යුතවේ.

ස්වේච්ඡා සේවය සඳහා අනියුක්තව සේවය කිරීමට එකඟ වී සිටින බොහෝ ක්‍රීඩකයන් මේ තීරණයත් සමග අපහසුතාවට පත්වනු ඇත.

එසේම ලබන වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට හා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සති 10 ක පුහුණුව හේතුවෙන්, සැලසුම් කළ ආකාරයෙන් පුහුණූකටයුතු සිදුකිරීමට නොහැකිවනු ඇත.

සාමාන්‍යයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග නැති සමයේ දී, ඉදිරි වසර සඳහා ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීමට හා, තරග සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පුහුණුකටයුතු සිදු කරයි. තරග පැවැත්වෙන කාලය මෙන්ම‍, තරග නොපැවැත්වෙන කාලය ද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් වේ.

ආසියානු කලාපය ජයගනු ඇතැයි අනුමාන කල හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ගුවන් හමුදාව නියොජනය කරයි. ඔවුන් පසුගිය කාල සමයේ දී ගුවන් හමුදාවට කීර්තියක් ලබා දීමට වක්‍රාකාරයෙන් හෝ සමත්ව ඇත.

උස පැනීමේ ජාතික ශූර, ආසියානු පදක්කම් ලාභී මංජුල කුමාර, ආසියානු ශූරියක වන නිමාලි ලියනාරච්චි, දුර පැනීමේ ජාතික ශූරයන් වන ධනුක ලියනපතිරණ හා අමිල ජයසිරි, මිටිය විසිකිරීමේ හා කවපෙත්ත විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තා ලාභිනිය වන අයේෂා මධුවන්තී, රිටී පැනීමේ දකුණු ආසියානු ශූර ඉෂාර සඳරුවන් හා යගුලිය විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි තාරිකා ප්‍රනාන්දුද මේ අතර සිටියි.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් හැර යන අවස්ථාවේ, තම ආයතනවලට ඔවුන් බඳවා ගැනීමට ත්‍රිවිධ හමුදාව ක්‍රියා කිරීම මගින් ඉහත ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩි දියුණු කරගැනීමට දැඩි පිටුවලක් ලැබේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ අරමුණ වන්නේ ක්‍රීඩාවෙන් ඉදිරියට යෑම මෙන්ම ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එමින් තම ආයතනයට ද එය ලබා දීමයි.

වසරක පමණ කාලයක සිට ඉහත පුහුණුව අනිවාර්ය කර තිබුණ ද, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග අධික කාලයක් වීම හේතුවෙන් මෙම වසර දක්වා කල් දැමීමට සිදුව තිබෙන බව ද වාර්තා වේ.

බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තීරණයත් සමග කලකිරීමට පත්ව සිටින අතර, ගුවන් හමුදාව හැරයෑමට ද ඉඩ තිබේ.

එසේම අනාගතයේ දී ගුවන් හමුදාව නියෝජනය කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරගැනීමට ද මෙමගින් බලපෑමක් එල්ලවනු ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉල්ලා සිටින්නේ, පුද්ගලික දක්ෂතා හා ඉදිරි තරග සැලමුම් සැලකිල්ලට ගෙන ඉහත පුහුණුවෙන් නිදහස් කරන ලෙසය.

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org