ආසියාවෙන් ලැබූ තල්ලුවෙන් මලල ක්‍රීඩාව ගොඩ ගනිමු ද ? 

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ඉන්දියාව බලා කණ්ඩායමක් පිටත්වීමේදී, ක්‍රීඩකයන් පදක්කම් බලාපොරොත්තු සහිතව ගුවන් යානයට ගොඩ වුවත් බොහෝදෙනා සිතා සිටියේ මෙය තවත් අසාර්ථක තරගාවලියක් වනු ඇති බවය.

ඒ, වසර ගණනක සිට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සැපිරීමට ක්‍රීඩා බලධාරීන් අපොහොසත් වීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අදාල අඩුපාඩු නිදහසට කරුණු ලෙස ගෙන හැරදැක්වීමට පුරුදු පුහුණුව සිටීමයි.

මලල ක්‍රීඩාවේ මහගෙදර වූ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය, අදූර්දර්ශී පාලනයේ ප්‍රථිඵලයක් ලෙස විනාශවීම, මලල ක්‍රීඩාවේ පසුබෑමට සෘජුව හා වක්‍රාකාරයෙන් බලපෑමක් එල්ලකල බව නොරහසකි.

එමගින් මලල ක්‍රීඩාවට නැඹුරුව සිටි ක්‍රීඩා ලොලීන් ඉන් ඈත්වූ අතරම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද පුහුණුවීමට හා තරගවැදීමට තිබූ අවස්ථාවන් ඇහිරිණ.

එවන් වටපිටාවක සිට ඉන්දියාවේ බුබනේශ්වර් වෙත ගමන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට, දින 10 ක පමණ කාලයක් එම ප්‍රදේශයේ කාළගුණයට, ධාවන පථයට අනුගත වීමේ අවස්ථාව හිමිවිය.

එම අවස්ථාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උපරිම ඵල ලැබුවා ද ?

කඩතොලුව තිබෙන දියගම ධාවන පථයේ තරග වදිමින්, පුහුණුවීම් සිදුකරමින් දිනපතා මැසිවිලි නැගූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආසියාවේ දැවැන්තම තරගාවලියකට පෙර ප්‍රමිතියකින් යුතු ධාවන පථයක පුහුණුවීමේ අවස්ථාව ලැබිණ.

නමුත්, ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හැරුණු කොට අනෙක් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම උපරිම දක්ෂතා වෙත ළඟා නොවීම සැලකිල්ලට ගත යුතුය.

ඉන් අනතරුවත් බොහෝ දෙනෙකු පැවසුවේ, ශ්‍රී ලංකවේ තත්වයට අනුගතව සිටි ඔවුනට නව ධාවන පථය නුහුරු බවය.

ප්‍රධාන ක්‍රීඩාංගණයේ පුහුණූවීමේ අවස්ථාව ඉන්දියාවේදී ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොලැබුණ ද, දියගම ධාවන පථයට වඩා ප්‍රමිතියෙන් යුතු ධාවන පථයක ඔවුනට පුහුණුවීමේ අවස්ථාව ලැබිණ.

බාධක කම්කොටුලු මැදින් පදක්කම් සටන

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමින් පළමු දින රාත්‍රියේම පදක්කමක් ලක් මාතාව වෙත ලබා දීමට නදීෂා ලේකම්ගේ ක්‍රීඩිකාව හෙල්ල විසිකරමින් සමත්විය.

පසුගිය ද දියගම පැවති තේරීම් තරගාවලියේ දී මීටර් 56 කට වැඩි දක්ෂතාවක් දක්වමින්, අවසන් මොහොතේ ආසියානු තරගාවලියට සුදුසුකම් සැපිරූ ඇයගේ පදක්කම සුවිශේෂී වූයේ, ඇය එහිදී ද සිය හොඳම දක්ෂතාව අලුත් කරමින් මීටර් 58.11 ක දක්ෂතාවක් සමගින් එම ජයග්‍රහණය ලැබීමෙනි.

රත්නපුර, ඇහැළියගොඩ ප්‍රදේශයෙන් ක්‍රීඩාවට අත්පොත් තැබූ නදීෂා එදා තරග කළේ ඇයගේ උපරිම දක්ෂතාව වෙනුවෙනි, එය නොදැනුවත්වම පදක්කමක් බවට පෙරළින.

මේ අතර, මීටර් 100 පිරිමි ධාවන ඉසව් සඳහාද වැඩිදෙනාගේ අවධානය යොමුවූයේ, ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ෆෙමි ඔගුනොඩේට ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් හා විනෝජ් සුරංජය අභියෝග කරුණු ඇති යන විශ්වාසය නිසාවෙනි.

නමුත් ඔවුන් දෙදෙනාටම අවසන් තරගයට හෝ සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

තත්පර 10.26, 10.29, 10.30 අතර උපරිමයක සිටි, හිමාෂගේ උපරිම දක්ෂතාව ලෙස සටහන් වූයේ තත්පර් 10.48 කි, ඔහු අවසන් පූර්ව වටයේදී දැක්වූයේ තත්පර 10.53 ක දක්ෂතාවකි.

විනෝජිි සුරංජය පසුගිය තේරීම් තරගාවලියේදී පුද්ගලික හොඳම කාලය ලෙස තත්පර් 10.30 ක දක්ෂතාවක් දක්වමින් සහභාගීවුවද, ඔහුට ද තත්පර 10.44 සීමාවේ රැඳීමට සිදුවිය.

එම ඉසව්වේ රන් පදක්කම ඉරානයේ ටී හසන් ක්‍රීඩකයාට හිමිවූයේ තත්පර 10.25 ක කාලයකිනි. හිමාෂ හෝ විනෝජ් සිය උපරිම දක්ෂතාව වෙනුවෙන් සටන් වැදුනේ නම්, ආයාසයකින් තොරව පදක්කමක් අතරට පිවිසීමට හැකියාව තිබිණ.

මීටර් 200 ඉසව්වේ දී ද විනෝජ් සුරංජය ගෙන් බලාපොරොත්තුවූ දක්ෂතා දැක ගත නොහැකි විය.

මේ අතර, මීටර් 800 ඉසව්වෙන් ගයන්තිකා හා නිමාලි යුගලය නැවතත් ශ්‍රී ලංකා ධජය ගුවනට එක් කළේ, ආසියාවේ ඔවුන් දෙපළට ඇති තරගය අභියෝගයට ලක් කරමිනි.

ගයන්තිකා අබේරත්නගේ තරගය ඉන්දියාවේ අර්චනා අදේව් අත්පත් කරගනිමින්, පහරදෙමින් තරගය අවසන් කිරීම හේතුවෙන්, පසුව ඉන්දියානු ක්‍රීඩකාවට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ අනුව නිමාලී ලියනාරච්චිට රන් පදක්කම ලබා දූන් අතර, ගයන්තිකාට රිදී පදක්කමින් සෑහීමට පත්වීමට සිදුවිය.

ඔවුන් දෙදෙනාම තරගයේ රන් හා රිදී පදක්කම් හිමිවිය යුතුවූ ක්‍රීඩිකාවන් දෙදෙනා වීම නිසාම ඉහත තීරණය අභියෝගයට ලක් නොවීය.

මේ අතර, විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට රුමේෂී රත්නායක ක්‍රීඩිකාව මීටර් 200 ඉසව්වෙන් සමත්විය.

එම ඉසව්වේ ආසියානු කරයේ වේගවත්ම ක්‍රීඩිකාවන් දෙදෙනා වූ කසක්ස්තානයේ වික්ටෝරියා යබිකිනා හා ඔල්ගා ශෆ්රනෝවා මෙම වසරේදි තත්පර 23.10 ට අඩු කාලයක් වාර්තා කළ ක්‍රීඩිකාවන් විය.

මේ අතර, ඉන්දියානු ක්‍රීඩකාවන් වූ ශර්බනී නන්දා හා ඩුටී චාන්ද් ද මෙම වසර තුළ තත්පර 23.40 ට අඩු කාලයක් වාර්තා කර තිබීම මත රුමේෂිකාට තරගයේ හිමිව තිබුනේ පස්වැනි ස්ථානය හෝ ඉන් එහා ස්ථානයකි.

රුමේෂිකා මෙම තරගයට පිවිසියේ තේරීම් තරගාවලියේ දී දැක්වූ සිය උපරිම දක්ෂතාව වූ තත්පර් 23.85 ක කාලය සමගින්වේ.

නමුත් ඇය, සියලු අනාවැකි පුරෝකතන පුස්සක් කරමින් මූලිකවටයේදී පුද්ගලික හොඳම කාලය අලුත් කලේ තත්පර දශම 0.45 කිනි. ඒ තත්පර 23.40 ක කලායක් වාර්තා කරමින් කසාක්ස්තානයේ වික්ටෝරියා යබිකිනා ද පරාජය කරමිනි.

එසේම අවසන් තරගයේ දී ද ඇය දෙවැනි වූයේ ආසියාවේ මීටර් 200 වේගවත්ම ක්‍රීඩකාව වූ වික්ටෝරියා යබිකිනාට පමණි.

එහිදී ද රුමේෂිකා තම පුද්ගලික උපරිම කාලය පවත්වා ගැනීමට සමත්ව සිටිම (23.43) පැසසිය යුතුය.

ඉහත පදක්කම් 4 ට අමතව ශ්‍රී ලංකාව ලද අනෙක් පදක්කම වූයේ, මීටර් 400 සහාය දිවීමේ පිරිසි ඉසව්වේ රිදී පදක්කමය.

එහිදී තරග ආරම්භය ලබා ගත් 19 හැවිරිදි තරුෂ ධනංජය තරගය දෙවැන්නා වූ  කාලිග කුමාරට යෂ්ඨිය භාර දුන්නේ තරගය ජයගත් ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයාට ද ඉදිරියෙනි, මෙහිදී දිලිප් රුවන් මෙන්ම කාලිංග කුමාරගේද උපරිම දායකත්වය ලබා දීම කැපී පෙනින.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත තරගාවලියේ 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට හැකිවිය.

මේ අවස්ථාව මලල ක්‍රීඩාවේ ගමන තහවුරු කිරීමට හා ක්‍රීඩා ලොලීන් අතරට මලල ක්‍රීඩාව ගෙන යෑමට දායක කරගත යුතුය.

හඳුනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අතිරේක පහසුකම් සැලසීම, අනුග්‍රාහකයන් වෙත යොමු කිරීම හා විශේෂඥ පුහුණුකරුවන් වෙත යොමු කිරීම සිදුකළ යුත්තේ මේ අවස්ථාවේ දිය.

සිම්බාබ්වේට ක්‍රිකටර්ල පරදිද්දි රටවල් 42 ක් සමග උරෙන් උර ගැටුනු මලල ක්‍රීඩකයන්ට ලැබෙන සැලකිල්ල ප්‍රමාණවත්ද ?"ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපවීමෙන් පුහුණුවීම් සිදුකරනවා, ඔවුන්ව මින් ඉදිරියටවත් බලාගන්න. ඔවුන්ගේ ජයග්‍රහණ ඇගයීමට ලක්කරන්න." – ආසියානු රන් පදක්කම් ලාභී ජ්‍යේෂ්ඨ ක්‍රීඩක මංජුල කුමාරගෙන් ඉල්ලීමක්.

Posted by Ceylon Athletics on Thursday, July 13, 2017

ලබන වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල හා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් මේ සැලසුම් සැකසිය යුතුය.

එසේ නොමැතිව, තමන්ට නොමැති දේ ගැන මැසිවිලි නගමින්, ක්‍රීඩාවේ ප්‍රගමණය අඩාල කිරීම නොවන බව පසක් කරගත යුතුය.

මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද යුතුකමක් ඇත…

ඒ ඔබ කල යුත්තේ, උපරිම දක්ෂතාවට ළඟා වීමට සැම විටම උත්සාහ කිරීමය…

පැමිණිලි කර පළක් නැත…

Comments

comments

Leave a Reply

error: Do not try to steal contents. CeylonAthletics.com Content is protected !!