ආසියානු ග්‍රොන් ප්‍රී: ඉඳුනිල්, හිමාෂ, ගයන්තිකා හා රුමේෂිකා දක්ෂතා අතර පෙරට

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories


ඉඳුනිල් හේරත්ට ග්‍රොන් ප්‍රී තරගාවලියේ දී 800 න් පළමු තැන

චීනයේ යින්හුවා හිදී අද පැවති ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලි මාලාවේ පළමු අදියරේදී යුද හමුදාවේ ඉඳුනිල් හේරත් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සමත්විය.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද නියෝජනය කළ ඉන්දියාවේ ජින්සන් ජොන්සන් පහසුවෙන් ජයගනු ඇතැයි විශ්වාසය පළ කළ මෙම තරගය ඉඳුනිල් ජයගත්තේ මිනින්තු 1:50.69 ක දක්ෂතාවක් දක්වමිනි.

ඉඳුනිල් හේරත්ගේ පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස සැලකෙන්නේ මිනිත්තු 1:48.69 කි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩක ජින්සන් ජොන්සන්ගේ හොඳම කාලය පසුගිය වසරේ වාර්තාවූයේ 1:45.98 ලෙසයි.

මීටර් 100 පිරිමි

පසුගිය දා මෙම වසරේ තම වේගවත්ම කාලය මීටර් 100 ඉසව්වෙන් වාර්තා කරමින්, ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවූ, හිමාෂ ඒෂාන් අද දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

තත්පර 10.43 ක කාලයක් ඔහු වාර්තා කරද්දී, ජයග්‍රහණය වාර්තා කළ, චීනයේ මී හොංග්ට වාර්තා කිරීමට හැකි වූයේ තත්පර 10.37 ක කාලයකි.

 

මීටර් 800 කාන්තා

Gayanthika Abeyrathnaපසුගිය දා පැවති ජාතික තේරීම් තරගාවලියේ දී මිනිත්තු 2:02.55 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ ගයන්තිකා අබේරත්න අද තුන්වැන්නා ලෙස තරගය අවසන් කිරීමට සමත්විය.

ඇය එහිදී මිනිත්තු 2:03.78 ක කාලයක් වාර්තා කිරීමට සමත්විය.

චීනයේ වැන්ග් චුන් යූ (2:03.25) , හා ඉන්දියාවේ ටින්ටු ලූකා (2:03.59) පළමු හා දෙවැනි ස්ථාන හිමිකරගැනීමට සමත්විය. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම  මෙම ඉසව්ව මිනිත්තු 2 කට අඩු කාලයකින් අවසන් කර ඇති ක්‍රීඩිකාවන් වේ.

මෙම ඉසව්වට සහභාගීවූ, මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී, නිමාලි ලියනාරච්චිට හිමිවූයේ 5වැනි ස්ථානයයි. ඇයගේ කාලය මිනිත්තු 2:08.47 කි.

මීටර් 100 කාන්තා

ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි ගෞරව හිමිකරගනිද්දී, අද දිනයේ අනෙක් සාර්ථකම ක්‍රීඩිකාව වූයේ රුමේෂිකා රත්නායකයි.

පසුගිය වසරේ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 11.7ට අඩු කාලයක් වාර්තා කල ඇයට, ඉන් පසුව එවැනි දක්ෂතාවක් දැක්වීමට හැකි වූයේ නැත. පසුගිය වසරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී සිටි රුමේෂිකා අද වාර්තා කල කාලය තත්පර 11.82 කි.

එය ඇය පසුගිය වසරක කාලයක් තුළ වාර්තා කළ හොඳම කාලයයි.

තරගය ජයගත් කසක්ස්තානයේ ස්යාබීනා වික්ටෝරියා (11.44) හා කසක්ස්තානයේම සැෆ්‍ර නෝවා ඔල්ගා(11.59) ටද බලාපොරොත්තුවූ දක්ෂතා දැක්වීමට හැකි නොවීය.

ආසියානු ක්‍රීඩා උළෙල වලදී  පදක්කම් හිමිකරගෙන  ඇති ස්යාබීනා වික්ටෝරියා පසුගිය වසරේදී   තත්පර 11.15 ක දක්ෂතාවක් දක්වා ඇති ක්‍රීඩිකාවක් වේ. එසේම සැෆ්‍ර නෝවා ඔල්ගා ද (Safronova Olga) පසුගිය වසරේදී  තත්පර 11.09 ක දක්ෂතාවක් දක්වමින් ඔලිම්පික් වරම් දිනාගත් ක්‍රීඩිකාවකි.

තත්පර 11.59 ක දක්ෂතාවක් දක්වමින් අද තෙවැනි ස්ථානය දිනාගත් ඉන්දියාවේ ඩුටී චාන්ද් ද රියෝ ඔලිම්පික් වරම් දිනාගැනීමට සමත්විය.


කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදි අනෙක් ක්‍රීඩකයන්ට උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව තිබේ.

ඊයේ (23) පස්වරුවේ චීනයේ යින්හුවා (Jinhua) වෙත ළඟාවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාංගණයේ දී පුහුණුවීමේ අවස්ථාව හෝ හිමිව නැත. අධික වෙහෙස හා කාළගුණ වෙනසට නුහුරු පසුබිමක් තුළ තරඟ වැදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවීම දක්ෂතා අවම වීමට බලපෑවා නොඅනුමානය.

සාපේක්ෂව ගත් කළ අනෙක් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද සැලකිය යුතු ප්‍රගතියක් දැකගත නොහැකි විය.

අජිත් ප්‍රේම කුමාර – මීටර් 400 – 4 වැනි ස්ථානය – තත්පර 48.71
සංජය ජයසිංහ – තුන් පිම්ම පිරිමි – 7 වැනි ස්ථානය – මීටර 15.15
තාරිකා ප්‍රනාන්දු – යගුලිය විසිකිරීම කාන්තා – 5 වැනි ස්ථානය -මීටර 13.99
සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම පිරිමි – 7 වැනි ස්ථානය – මීටර 71.12
වරුණ ලක්ෂාන් – හෙල්ල විසිකිරීම පිරිමි – 8 වැනි ස්ථානය – මීටර 70.40
තරංගා විනෝදනී – උස පැනීම කාන්තා – තරගය සාර්ථකව අවසන් කළේ නැත

ඡායාරූපය – දිණමින

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org