Video: යොහාන් බ්ලේක් ද අභිබවා ගිය හිමාෂ වසරේ හොඳම කාලය වාර්තා කරයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories, Videos

ජැමෙයිකාවේ පුහුණුවීම් සිදුකරන මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් අද අළුයම ජැමෙයිකාවේ දී පැවැති තරගයකදී මෙම වසරේ ඔහුගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්විය.

ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක් ලෙස පැවැති යූටෙක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරගයකට සහභාගීවෙමින් හිමාෂ මෙම දක්ෂතාව දැක්වීමට සමතව තිබේ.

යොහාන් බ්ලේක්ගේ පදක්කම් වාර්තාව

මෙම තරගයට ඔලිම්පික් පදක්කම් ලාභී ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූර යොහාන් බ්ලේක් ද සහභාගීවුවත්, ඔහුට හිමිවූයේ තරගයේ අවසන් ස්ථානයයි.

ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කම් දෙකක් හිමිකරගෙන ඇති බ්ලේක්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, ඔහුට සාර්ථකව තරගය අවසන් කරගැනීමට නොහැකිවීම දැකගත හැකිවිය.

හිමාෂ ඒෂාන් මෙහිදී තත්පර 10.29 ක කාලයක් වැය කරමින් තරගය අවසන් කළේ හයවැන්නා ලෙසය.

තරගයේ ජය බ්‍රිතාන්‍යයේ සාර්නෙල් හියුස්ට හිමිවිය.

හිමාෂ වාර්තා කළ කාලය ශ්‍රී ලංකිකයෙකු මීටර් 100 ඉසව්වෙන් වාර්තා කල සිව්වැනි හොඳම කාලයද වේ. මීට පෙර පසුගිය වසරේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී හිමාෂ ඒෂාන් තත්පර 10.26ක් හා තත්පර 10.28 ක කාලයන් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තාව සතුකරගත්තේය.

ඔහුට අමතර මීටර් 100 ඉසව්ව සඳහා වේගවත්ම කාලය ලෙස තත්පර 10.29 ක කාලයක් වාර්තා කරගෙන සිටියේ  චින්තක ද සොයිසා පමණි.

ආසියානු මලල ක්‍රීඩා ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවීමට හිමාෂ හෙට දිවයිනට පැමැණීමට නියමිතය.

“ජැමෙයිකාවට පැමිණීමෙන් පසුව පුහුණුවීම් සිදු කළේ දිර්ඝ කාලීන සැලසුමකට අනුවයි. ඒක නිසා වේගය හා තරග අවසන් කිරීම සම්බන්ධයෙන් පුහුණු කටයුතු සිදුකිරීම ආරම්භ කර තිබුණේ නැහැ. මෙම තරගයේ හොඳ ආරම්භයක් ලබා ගැනීමට මට හැකි වුණත්. අවසන් මීටර් කිහිපයේදී එම වේගය පවත්වා ගැනීමට හැකි වුණේ නැහැ. එසේ හැකිවුණානම් තරගය ජය ගැනීමට වගේම හොඳ කාලයක් වාර්තා කිරීමට ඉඩ තිබුණා.” – හිමාෂ ඒෂාන් ජැමෙයිකාවේ සිට සිලෝන් ඇත්ලටික්ස් සමග අදහස් දක්වමින් පැවසීය.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලිය අදියර තුනක් යටතේ චීනයේ හා චීන තායිපේ හදී ලබන 24 වැනි දා සිට පැවැත්වේ.

ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගීවීමට නියමිතය.

හිමාෂ සහභාගීවූ තරගයේ වීඩියෝව

https://www.youtube.com/watch?v=EhKHixyzkBo&feature=youtu.be

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org