Tokyo 2020 ට සිහින දකින අවුරුදු 20 ඇයගේ තුන්පිම්මට සහය වෙමු

By www.ceylonathletics.com | | Featured Articles, Sinhala

ලොව ජයගැනීමට තම ශක්තියෙන් නැගී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඇති බාධක එමටයි.

ඒ අතුරින් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන 20 හැවිරිදි වියට පා තැබූ, යොවුන් ක්‍රීඩිකාවකට පැන නැගී ඇති ගැටලු ගෙන හැර දැක්වීමට කැමැත්තෙමු.

තුන්පිම්ම කාන්තා ඉස්ව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව තෙවරක් අලුත් කල මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ විදූශා ලක්ෂානි එම ක්‍රීඩිකාවයි. පසුගිය වසරේ උසස්පෙළ විභාගයට පෙනි සිටි ඇය මෙම වසරේ පැවැති පළමු ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදීම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්විය.

විදූෂා මෙවර දැක්වූ දක්ෂතාව මීටර් 13.67 ක්.

පැනීමේ ඉසව්වලින් ජාතික තලය ජයගත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් වෙසෙන වෙන්නප්පුව ප්‍රදේශයේ පුහුණුවීම් සිදුකරන ඇයට,  එම කටුයුතු සිදුකළ යුතුව ඇත්තේ අවම පහසුකම් යටතේයි.

වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ ඊට නිසි පහසුකම් නොමැතිවීම හා බලධාරීන්ගේ අවධානය ඊට යොමු නොවීම විදූෂාට බාධාවක්ව තිබේ.

2006 වසරේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන්පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත්, සම්පත් වීරසිංහ ඇතුළුව, තුන්පිම්ම මෙන්ම දුරපැනීමේ ඉසව්වල දී ජාත්‍යන්තර තලයට පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදුකළ ද, මේවනවිට ඊට අවශ්‍ය පහසුකම් ඇත්තේම නැති තරම්ය.

2013 දී තුන්පිම්මේ ශ්‍රී ලංකා වාර්තාව සතු කරගත් එරන්ද ප්‍රනාන්දු, මෙන්ම වත්මන් තුන්පිම්ම ජාතික ශූර සංජය ජයසිංහගේ ද මහගෙදර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයයි.

එසේම දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන අමිල ජයසිරි ද වෙන්නප්පුවෙන් බිහිව, මෙම ක්‍රීඩාංගණයෙන් බෞතීස්ම ලැබූ ක්‍රීඩකයෙකි.

ඔවුන්ට අමතරව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන ග්‍රේෂන් ධනංජය, උදිත චන්ද්‍රසේන මෙන්ම හසිනි බාලසූරිය හා ප්‍රසාදි ලක්‍ෂානි යන ක්‍රීඩාකාවන් පුහුණුව ලබන්නේද ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේයි.

ජාතික තලය හා ජාත්‍යන්තර තලය අතික්‍රමණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුඩම්මාගේ සැලකිල්ල ලැබීම ක්‍රීඩාවේ අනාගතයට කළු පැල්ලමක් නොවේ ද ?

විදූෂා ලක්ෂානිට බාධාවක්ව ඇත්තේ, පුහුණුවීමට නිසි ස්ථානයක් නොමැතිවීම පමණක්ම නොවේ.

ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා වැයවන අධික වියදම සලසා ගැනීමට මූල්‍ය ශක්තියක් නොමැතිවීමද ඇය මුහුණපා සිටින තවත් ප්‍රධාන ගැටලු අතර වේ.

මෙවන් වපසරියක් යටතේ පුහුණුකටයුතු සිදුකරන විදූෂාව ජාතික මලල ක්‍රීඩකයන්ගේ සුපිරි සංචිතයට හෝ ඇතුළත් කර නොමැත. එ් අනුව ඇයට එහිදී ලැබීමට නියමිත පහසුකම් හා මූල්‍ය ප්‍රතිපාදන ද හිමිවන්නේ නැත‍

“මෙයාට ශ්‍රී ලංකාව ජයගැනීම මහලොකු දෙයක් නොවේ. නමුත් මගේ සැලැස්ම වී ඇත්තේ, ආසියානු පදක්කමක්. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වගේම වෙනසක් කිරීමයි අපේ සැලසුම. නමුත් ඊට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.” – පිලිප් රන්ජිත් (විදූෂාගේ පුහුණුකරු)

දක්ෂ ක්‍රීඩකයන් රැසකගේ පුහුණුකරු වන පිලිප් රන්ජිත් මහතාගේ ඉල්ලීම වන්නේ, විදූෂාට මෙන්ම අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද අත්‍යාවශ්‍ය පහසුකම් හෝ වගකීමෙන් යුතුව සලසන ලෙසයි.

“මට පසුගිය වසරේදී තරගාවලි කිහිපයක් අහිමිවුණා. සමහරවිට ඒ නිසා මාව සුපිරි සංචිතයට තොරා නොගැනීමට හේතුවෙලා ඇති. ඒත් මම හිතනව දැන් (ශ්‍රී ලංකා වාර්තාව නැවත බිඳ හෙළීමෙන් පසු ) මාව ඊට සුදුසුයි කියල.” – විදූශා ලක්ෂානී

ක්‍රීඩාවෙන් පසුව වෘත්තීය හෝ අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව මග වරද්දා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බුරුතු පිටින් සිටින රටක අධ්‍යාපනය හා ක්‍රීඩාව සමාන්තරව සිදුකළ විදූෂා යොවුන් පරපුරට ආදර්ශයකි.

විදූෂා උසස්පෙළ කඩ ඉම ජයගෙන, ක්‍රීඩාවෙන් ආසියාව ජයගැනීමට පිඹුරුපත් සකස්කරමින් සිටියත් ඊට අවශ්‍ය වපසරිය සැලසෙනවා ද යන්න සැකසහිතය.

පුහුණුකරු හා විදූෂා සමග කල සාකච්චාව

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org