දකුණු ආසියාව පුදුම කළ රන් දියණිය නෙත්මි
කෙටි දුර ධාවනයේ දී ශෆියා යමික් අවධානය දිනා ගනිද්දී, තවත් නැගී එන තරුවක් වන නෙත්මි මධුෂානි හේරත්, සිය මංගල ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දීම රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. 20 හැවිරිදි වියැති ඇය මෙම දක්ෂතාවය පෙන්වූයේ අනාගතයේ අති විශිෂ්ඨ ක්‍රීඩිකාවක් බවට පසක් කරමින්.
ඌව පළාතේ බිබිලේ පදිංචි නෙත්මි මධුෂානි හේරත්, මෙම වසරේදී සහභාගී වූ ජාත්‍යන්තර තරගාවලි දෙකේදීම රන් පදක්කම් දිනා ගනිමින් කැපී පෙනෙන දක්ශතා දක්වීම පැසසිය යුතුවේ. කණිෂ්ඨ අංශයේ සිට ජ්‍යේෂ්ඨ අංශයේ දක්ශතා දැක්වූ නෙත්මි මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගත් ලාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි.
විශිෂ්ට දස්කම් සහ වාර්තා
පුහුණුකරු ක්‍රිෂාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබන මධුෂානි, ජ්‍යෙෂ්ඨ මට්ටමට පිවිසීමට පෙර විශිෂ්ඨ ලෙස කණිෂ්ඨ අංශයේ තරග වැදුණා. ඇය පසුගිය වසරේ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේදී තුන් පිම්මෙන් රිදී පදක්කමක් දිනා ගත් අතර, 2022 වසරේ ආසියානු අවුරුදු 18න් පහළ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. එමෙන්ම, ඇය දුර පැනීමෙන් සහ තුන් පිම්මෙන් ලෝක කනිෂ්ඨ ශූරතාවලියටද සුදුසුකම් ලැබුවාය.
ජ්‍යෙෂ්ඨ තරග සඳහා පිවිසීමෙන් පසුව ඇය තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී දුර පැනීමේ හා තුන්පිම්ම ඉසව් දෙකෙහිම පෞද්ගලික හොඳම දක්ෂතා (PB) වාර්තා කිරීමට සමත් වූවාය.
එහිදී තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.58ක දක්ශතාවක් දැක්වූ අතර, එය විදුෂා ලක්ෂානිගේ ජාතික වාර්තාවට (මීටර් 13.66) වඩා අඩු වූයේ සෙන්ටිමීටර 8ක් පමණි.
එහිදී ඇය දුර පැනීමෙන් දැක්වූ දක්ශතාව මීටර් 6.37ක්.
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී, ඇය පළමු දිනයේදී තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.36ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත් අතර අවසන් දිනයේදී මීටර් 6.23ක දක්ශතාවක් දක්වමින් දුර පැනීමේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වූවාය.
අනාගතය පිළිබඳ දීප්තිමත්ම බලාපොරොත්තුව
බිබිලේ නන්නාපුරාව මහා විද්‍යාලයේ ආධි සිසුවෙකු වන මධුෂානි, නව යොවුන් වියේදී ඇය පෙන්වූ දක්ශතා අහම්බයක් නොවන බව සිය දක්ෂතාවලින් ඔප්පු කර තිබේ.
බොහෝ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසලෙන් පිට වූ පසු දක්ෂතා අඩුවීම හෝ වෙනත් මාර්ග තෝරා ගැනීම හේතුවෙන් ක්‍රීඩාවට අහිමි වුවත් මධුෂානි එම ප්‍රවණතාවට පිටින් ගොස් වසරින් වසර සිය දක්ශතා වර්ධනය කරගැනීමට සමත්ව සිටියි.
විවාහයෙන් සහ මාතෘත්වයෙන් පසු මේ වන විට 28 හැවිරිදි විදුෂා ලක්ෂානි මලල ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ, මධුෂානි ශ්‍රී ලංකාවේ තුන් පිම්ම ඉසව්වේ බලාපොරොත්තුව බවට පත්ව සිටීයි.
“මධුෂානි දැඩි විනයකින් සහ ඉමහත් කැපවීමකින් මෙම අතිශය දුෂ්කර මාර්ගය ගෙවමින් පැමිණ සිටිනවා. දකුණු ආසියානු ශූරතාවලිය අපගේ පළමු පියවර, අපට විශාල ඉලක්කයක් කරා යාමට තිබෙනවා.” – කුඩා කළ සිටමු මධුශානිගේ හෙවනැල්ල වූ පුහුණුකරු ක්‍රිෂාන්ත කුමාර මහතා ඇය ගැන අදහස් දක්වමින් මෙලෙස පැවසුවා.



