38 දිත් වැඩ පෙන්නන ලේකම්ගේගෙන් ලැබුණු පදක්කම
|තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නැවතත් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට සමත් වූ නදීෂා දිල්හානී ලේකම්ගේ පසුගිව වසර 18 ක කාලයක් පුරා සිය දක්ෂතා ඒකාකාරීම පවත්වාගෙන යාමට සමත්වනවා.
ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ඇති ඉහළම බලාපොරොත්තුව වන ඔලිම්පික් සිහිනය පසුගිය වසරේදී සැබෑ කරගන්නත් ඇය සමත් වුණා.
වසර 17ක ආසියානු ක්‍රීඩා උළෙල පදක්කම් සිහිනය සැබෑ කරමින් 2023 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උලෙලේ දී පළමු පදක්කම දිනා දුන්නේ නදීශා දිල්හානි ලේකම්ගේ. ඒ් ලක්මව රිදී පදක්කමකින් සරසමින්.
එම වසරේම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද ලේකම්ගේ ලෝකඩ පදක්කමක් හිමිකරගත්තා.
ඒ් වගේම 2024 වසරේ පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදීද ලෝකඩ පදක්කම තමන් නමට ලියා ගැනීමට ඇයට හැකි වුණා.
මේවනවිට 38 හැවිරිදි වියේ පසුවන ලේකම්ගේ ගේ ගමන සුන්දර නැහැ.
2007 සිට ජ්‍යේශ්ඨ ක්‍රීඩකාවක් ලෙස ගමන ආරම්භ කළ ද ඇයට ආසියානු මට්ටමේ ජයග්‍රහණයක් හිමි වුණේ 2016 වසරේ දීයි.
ඒ මොක්පෝ ආසියානු විසි කිරීමේ ශූරතාවලියේ දී ලැබූ රන් පදක්කම සමගින්.
නදීෂා ලේකම්ගේ 2017 වසරේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
ඇහැළියගොඩ පරකඩුව ප්‍රදේශයෙන් ක්‍රීඩාවට දායාද වූ නදීෂා දිල්හානිව මලල ක්‍රීඩාවට හඳුන්වා දුන් පළමු පුහුණුකරු අරුණ ශාන්ත මහතායි.
ඉන් අනතුරුව රොද්‍රිගෝ මහතා යටතේ පුහුණුවීම් කළ ලේකම්ගේ රොද්‍රිගෝ මහතාගේ අභාවයෙන් පසුව හිටපු හෙල්ල විසි කිරීමේ ශූරයෙකු වූ කිංස්ලි ගුණතිලක මහතා යටතේ කෙටි කලක් පුහුණු කටයුතු සිදු කළ අතර අනතුරුව මාධව සෙනරත් බණ්ඩාර මහතා යටතේත් වර්තමානයේ හිටපු හෙල්ල විසි කිරීමේ ශූරයෙකු වන ප්‍රදීප් නිශාන්ත මහතා පුහුණුවීම් සිදුකරනවා.
නදීෂා දිල්හානී ඇයගේ මුල් පුහුණුකරු අරුණ ශාන්ත මහතා ලේකම්ගේ ගැන පැවසූවේ මේවගේ කතා කිහිපයක්…
“මීට වසර 20 කට පමණ පෙර මුලින්ම නදීෂාව හෙල්ල විසි කිරීමට යොමු කළේ. ඒ කාලෙ කොල්ල වගේ, ගස් උඩමයි. නිවාසාන්තර තරග තියෙද්දි ගොක් කොළ කපන්න ගස් නගින්නෙ නදීෂා. කවදාවත් කරාබු දෙකක් දාන්නෙ නෑ. ටයි එකක් දාන්නෙ නෑ. රබර් සෙරෙප්පු දෙක දාගෙන එන්නෙ. හරිම දඩබ්බර දරුවෙක්. තිබුණු හැම ක්‍රීඩාවම කළා. මුලින් ම මට හම්බවෙන කොට උස පැන්නෙ. ධාවන තරගවලිනුත් පළාත් මට්ටමටම ගියා. නෙට්බොල් ෆුට්බොල් රගර් හැම ක්‍රීඩාවක්ම කරා. නෙට්බෝල් තරගයක දී මැයගේ ජීවිතය වෙනස්වුණා.”
ඇය හෙල්ල විසි කිරීම ඉසව්වට තෝරා ගෙන ඇත්තේ ද අහඹු සිදුවීමක ප්‍රථිඵලයක් ලෙසයි.
“දවසක් නෙට්බෝල් තරගයක දී, නදීශා මෙහා කොනේ ඉඳල එහා කොනට තනි අතින් පන්දුව විසි කළා. කුඩා වයසෙදි ඒ වගේ දෙයක් කිරීමේ විශේෂත්වයක් තිබුණ. ඒ අනුව තමයි හෙල්ල විසි කිරීමට මැයව යොමු කළේ. වයස අවුරුදු 15 න් පහළ පළාත් වාර්තාවක් බිඳ හෙළීමට ඇය සමත් වීම ඇයගේ ක්‍රීඩා දිවිය වෙනස් කළ සන්ධිස්තානයක් වුණා.”
“මෙයා පොඩි කාලෙ කොල්ලෙක් වගේ, එක පාරක් ජාතික තරගාවලියකට ඇවිත්, ලිඳෙන් වතුර අදින පනිට්ටුව ළිඳට වැටුණ කියල පනිට්ටුව ගන්න ළිඳට බැහැල. ගුරුවරු බයවෙලා මට දැනුම් දුන්නම මම හිතුවෙ මෙයා ළිඳට වැටිල කියල ඇවිත් බලන කොට ළිඳට බැහැල පනිට්ටුව අරන් ගොඩට එනව. ඒ වගේ වැඩ කරපු ළමයෙක් දැන් තැන්පත් වෙලා තමන්ගේ අරමුණ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්නෙ. කලින්නම් මෙයාව ට්‍රේනිං ගෙන්නන එක හරිම වදයක් කවදාවත් වෙලාවට එන්නෙ නෑ. පස්සෙ පස්සෙ මෙයා තරම් උවමනාවෙන් කවුරුත් අවෙ නෑ. වෙලාවක් කිව්වොත් වෙලාවට එනව. කවදාවත් වරද්දන්නෙ නෑ. අසනීපයක් තිබුණත් ට්‍රේනිං එනව.” පළමු පුහුණූකරු අරුණ ශාන්ත මහතා ඇයගේ කුඩා කාලය ගැන ප්‍රකාශ කළේ එලෙසයි.
පරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ නදීශා දිල්හානී, පසුව 2003 වසරේ දී ඇරේපොළ ශ්‍රී මහින්ද විද්‍යාලයට ඇතුළත් වන්නේ අරුණ ශාන්ත මහතාට ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලයට ලැබුණු මාරුවීමක් හේතුවෙනි.
පසුගිය වසර 20 වැනි කාලයක් ඇයව රැක බලාගන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි.
වයස යනු දක්ෂයාට ඉලක්කමක් පමණයි.
මේ ලේකම්ගේ ගේ කතාවයි.
ඇයට හෙල්ලෙන් අභියෝග කිරීමට නවක ක්‍රීඩිකාවන්ගේ අඩුවක් තිබේ.