ආසියානු ශූරතාවට යෑමට සිටි සහාය දිවීමේ කණ්ඩායම් කොට උඩ

ලබන මස 21 වැනිදා සිට පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට කණ්ඩායම තොරාගැනීමේ අවසන් තේරීම් තරගාවලිය ඊයේ අවසන් විය.

තරගාවලියේ තොරතුරු  

එහිදී මෙන්ම පළමු තේරීම් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින්, කණ්ඩායම තොරාගැනීමට නියමිත වේ.

කෙසේ වෙතත්, මෙවර කණ්ඩායමට කිසිදු සහාය දීවීමේ කණ්ඩායමක් නොගැනීමේ අවධානමක් ඇත.

පසුගිය වසර කිහිපය තුළ දක්ෂතා අතර පෙරමුණේ පසුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මෙම තේරීම් තරගාවලි සඳහා සහභාගී නොවීම මෙන්ම ආබාදවලට ලක්ව සිටීම ඊට හේතුවේ.

විනෝජ් සුරංජය ද සිල්වා අනතුරකට ලක්වීම හේතුවෙන් මීටර් 100 සහාය කණ්ඩායමක් තෝරාගැනීමේ ගැටලුවක් මතුව තිබේ. තේරීම් තරගාවලි දෙක අවසානයේ වේගවත්ම කාලයන් වාර්තා කිරීම් ගත් කළ තත්පර 10.50 ට අඩු කාලයන් වාර්තා වී ඇත්තේ දෙකක් පමණි.

අතක අස්ථි බිඳීම හේතුවෙන්, රොහල් ගතව ප්‍රථිකාරගත් විනෝජ් සුරංජයට ආසියානු ශූරතා තරගාවලියට සූදානම් වීමට ඇති කාලය ඉතා අවම වනු ඇත.

Seasonal Best Name
10.22 Himasha Eshan
10.27 Vinoj Suranjaya De Silva
10.52 Mohommad Safan
10.57 Surendra Kumara
10.57 Shehan Ambepitiya
10.57 BDCS Darmakirthi
10.62 Kavindu Rajakaruna
10.65 P.G.G.C. Ranaweera
10.69 ALM Ashroff

මේ අතර, කාන්තා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමක් සම්බන්ධයෙන් තිබූ අවස්ථාව ද මග හැරිණ. පසුගිය වසර කිහිපය තුළ දීම කෙටි දුර දිවීම් ඉසව්වල වේගවත්ම ක්‍රීඩිකාව වූ රුමේෂිකා රත්නායක තේරීම් තරග දෙකටම සහභාගී නොවීම හේතුවෙන් ඇයට සුදුසුකම් සැපිරීමේ අවස්ථාව මගහැරිණ.

රුමේෂිකා පසුගිය වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට හා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වු අතර, එහි දී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට තෝරා ගැනීම සැකසහිතවේ.

ඇය නොමැති වීම හේතුවෙන් මෙම වසරේ මීටර් 100 ඉසව්වෙන් දක්ෂතා දක්වා සිටින සෙසු ක්‍රීඩිකාවන්ට ද ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අහිමිව යනු ඇත.

මීටර් 100 ඉසව්වෙන් මෙම වසරේ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා

Seasonal Best Name Personal Best
Rumeshika Ratnayake
(Not participated in both trials)
11.51
11.90 Amasha de Silva 11.71
11.93 Shelinda Jansen 11.93
11.99 Shermila Jans 11.99
12.08 Sadeepa Henderson 12.08
12.14 Shafiya Yamick 12.14
12.18 WVL Sugandi 11.91

කාගේත් අවධානයට හා බලාපොරොත්තු සුන් කරමින්, මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වට කණ්ඩායමක් තෝරාගැනීම බරපතල ගැටලුවක් ව තිබේ.

පසුගිය වසරේ වේගවත්ම ක්‍රීඩකයන් වූ, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ හා දිලිප් රුවන්ගේ සහාය මෙම වසරේ නොලැබීම ඊට හේතු වී තිබේ.

කාලිංග කුමාරගේ තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වීම හේතුවෙන්, තහනමට ලක්ව සිටින අතර, දිලීප් රුවන් ද ආබාදයක් හේතුවෙන් මෙම වසරේ පුහුණුකටයුතු ආරම්භ කර නොමැත.

කලව ප්‍රදේශයේ ආබාද තත්වයක් හේතුවෙන්, ප්‍රථිකාර ගනිමින් සිටින අරුණ දර්ශන ද තරගාවලියට පෙර සම්පූර්ණ සුවය ලැබිය යුතු වේ.

Seasonal Best Name Personal Best
48.80 Aruna Dharshana
(Pulled out due to an injury in 2nd Trails)
45.78
Kalinga Kumarage
(Provisionally Suspended)
45.99
46.52 M.G.A. Premakumara
46.98 A.M.L.P. Gunarathna
47.23 PMPL Kodikara
47.28 AMLP Gunarathna
47.66 PMWGT Dananjaya

තේරීම් තරගාවලියේ දී, බලාපොරොත්තු වූ දක්ෂතා දැක ගැනීමට නොහැකි වීම මත   මීටර් 400 කාන්තා සහාය කණ්ඩායමට ද සමාන ඉරණමක් හිමිව තිබේ. නදීෂා රාමනායක නැවත තත්පර 54 ට අඩු සීමාවට පැමිණියද සෙසු ක්‍රීඩිකාවන් එම සීමාව ආසන්නයට හෝ පැමීණීමට සමත්ව නැත.  මීටර් 800 අවසන් තරගයට සහභාගී වී සිටි ඩිල්ශි කුමාරසිංහ එම තරගය අවසන් ව පැයක් පමණ කාලයක් තුළ නැවත මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට ද සහභාගී වීම හේතුවෙන්, දෙවැනි තේරීම් තරගාවලියේ දී පුද්ගලික හොඳම දක්ෂතාවට ළඟාවීමට අපොහොසත් වූවාය.

මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත වූ එම අවස්ථාවේ ක්‍රීඩිකාවන් අවම සංඛ්‍යාවක් සිටීම හේතුවෙන්, අවසන් තරගය පවත්වා තිබේ.

මෙම වසරේ මීටර් 400 දක්ෂතා

Seasonal Best Name
53.47  Nadeesha Ramanayaka
54.94 Dilshi Kumarasinghe
54.98 Nimali Liyanarachchi
55.14 Upamalika Rathnakumari
55.60 Nirmali Madushika
55.86 Omaya Udayangani
55.89 Romeshi Attidiya

 

 

 

ආසියානු ශූරතාවේ මීටර් 400 කාන්තා සහාය ඉසව්වට වැඩි පදක්කම් අවස්ථාවක් ? 

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකු පමණ ඇතුළත් වන බව වාර්තා වේ.

ඊට පිරිමි, මීටර් 100 හා 400 සහාය දිවීමේ කණ්ඩායම් ද ඇතුළත්.

නමුත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා පදක්කම් හිමිකරගැනීමේ අවස්ථාව අල්ප වනු ඇති බව විචාරක මතයයි, කෙසේ වෙතත් මෙම තරගාවලියේ මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට ප්‍රභල කණ්ඩායම් සහභාගී නොවීමේ හැකියාව මත, ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව තිබේ.

ජාතික තේරීම් තරගාවලියේදී, නිර්මාලී මධුෂිකා (තත් 54.16) හා දෙවැන්නා වූ උපමාලිකා රත්නකුමාරි (තත් 54.53) යන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාව හා, මීටර් 800 ඉසව්වේ උපරිම දක්ෂතා දක්වමින් සිටින නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩිකාවන් දෙදෙනා සහාය දිවීමේ ඉසව්වට යොදා ගැනීමට හැකිනම් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාවක් තිබේ.

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ප්‍රධාන පෙළේ කණ්ඩායම් ඉදිරිපත් නොවීමේ අවධානමක් පැවතීම හේතුවෙන්, මෙම අවස්ථාව සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ අවධානය යොමුවිය යුතුය.

ජ්‍යේෂ්ඨ දත්ත සටහන්කරුවෙකු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහත දක්ෂතා අනුව මිනිත්තු 3යි තත්පර 40 කට ආසන්න කාලයක් වාර්තා කිරීමේ අවස්ථාව ඇති බවය.

මේ වනවිට, ඉහත කාලය තුළ දක්ෂතා දක්වමින් පසුවන්නේ, ඉන්දියාව, චීනය, බහරේන් හා ජපාන කණ්ඩායම් වුවත්, මේ අතරින් ජපානය හා චීනය සහභාගී වීම අවිනිශ්චිත තත්වයක පැවතීම මත ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමට අවස්ථාවක් තිබිය හැක.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන මස 6 වැනි දා සිට 9 වැනි දා දක්වා ඉන්දියාවේ ඔඩිෂා හීදී පැවැත්වේ.